Wednesday, October 02, 2024
Follow Us
සෞඛ්‍ය සේවාවේ ඉදිරි කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

මෙරට සෞඛ්‍ය සේවාවේ වත්මන් තත්ත්වය පිළිබඳවත්, ගතයුතු ඉදිරි පියවරයන් පිළිබඳවත් කථිකා ‌කෙරෙන විශේෂ සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ අග්‍රාමාත්‍ය හා  සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහිදී මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව, එන්නත්කරණ වැඩපිළිවෙළ, දරුවන්ගේ / මව්වරුන්ගේ ඇතුළු සියලු ජනතාවගේ පෝෂණ තත්ත්වය, ඖෂධ පිළිබඳ  තත්ත්වය, බෝවන හා බෝනොවන රෝග, ජනතාව දැනුවත් කිරීමේ සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පවතින ගැටලු හා සේවා අවශ්‍යතාවය මත කාර්යයමණ්ඩල අනුමත කරගැනීම, ඖෂධ ප්‍රසම්පාදනය, ආයුර්වේද ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සහ ඊට අදාළ පහසුකම් ලබාදීම, වසංගත රෝග, අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සපයා ගැනීම ආදී කරුණු  පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කෙරිණි.

ශ්‍රී ලංකාව තුළ වර්තමානය වන විට විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක බවත්, එම සේවාව ක්‍රියාත්මක කරනු ලබන සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැඩි කැපවීමෙන් කටයුතු කිරීම නිසා මෙරට සෞඛ්‍ය සේවාව සංවර්ධිත රටවලට සමාන මට්ටමක පවතින බව ද සඳහන් කළ අමාත්‍යවරිය ඉදිරියටත් මෙරට ජනතාවට ගුණාත්මක, විධිමත් සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම නව රජයේ ප්‍රමුඛ අරමුණ බවත්, ඊට බලපාන යම් කරුණූ වේ නම් ඊට විසඳුම් ලබාගැනීම මෙම හමුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය,  සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙහිදී සඳහන් කළාය.

මෙම විශේෂ සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන  යන මහත්වරු මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරු, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුලු නිලධාරීන් සහභාගි වී සිටියහ.