Tuesday, October 01, 2024
Follow Us
ශිෂ්‍යත්ව ප්‍රශ්නය ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක්

මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න තුනකට අදාළව නිදහස් ලකුණු පිරිනැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කරනු ලැබුවේ දරුවන් ගැන අවධානය යොමුකරමින් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ, විශේෂඥ කමිටුව මඟින් ඉදිරිපත් කළ නිර්දේශ අනුව එම තීරණයට එළැඹුන බවය.

"මේ සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් ලේකම්තුමිය විසින් අග්‍රාමාත්‍යවරියට අපි ඉදිරිපත් කළා. අපි දුන්න වාර්තා තවදුරටත් අධ්‍යයනය කරලා, නිර්දේශ ලබාදෙන්න කමිටුවක් පත් කළා. ඒ පත්කරපු කමිටුවේ නිර්දේශ දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරලා තමා මේ තීරණයට ආවේ. මෙතැනදි අපි ඊයේ දවසේ දී ප්‍රකාශයට පත් කළේ, විසඳුමක් හැටියට ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදෙන්න. පිළිතුරු සැපයු, නොසැපයු සියලුදෙනාට සම්පුර්ණ ලකුණු ලබාදෙන්න. ඒ අනුව ඉතා ඉක්මනින් ඇගයීම් සිදුකර ප්‍රතිඵල ලබාදෙන්නත්. 

විශේෂයෙන්ම දරුවන්ට යම්කිසි ගැටලුවක් එන්නේ නම් එය අවම වෙන විදියට ගන්න පුළුවන් වුණේ. යම්කිසි විදියකට මේ තීරණය නිසා විශාල අගතියක් සිද්ධවෙනවා නම් පැහැදිලිවම අපි ප්‍රකාශ කරන්න ඕනේ, අපි නැවත විභාගයකට යන්න මැලි වෙන්නේ නෑ. අපි එවැනි තීරණ අරන් තියෙනවා. නමුත් මේ සිද්ධිය බලපුවාහම මේ තත්ත්වය දිහා බලපුවහම අපිට නැවත විභාගයට යන්නේ නැතුව ඉතාම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. ඒකට අපේ විශේෂඥ කණ්ඩායම් ඒ මත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව දරුවන්ට ඉතාම සාධාරණයක් ඉටුවෙන අයුරින් තමා අපි මේ තීරණය ගත්තේ. විශේෂයෙන්ම මේක දරුවන් ගැන හිතලා ගත්තු තීරණයක්. අපි කවුරුත් දන්නවා මේ විභාගය මේ දරුවන්ට විශාල පීඩනයක් කියලා. අපි ඒක තවදුරටත් වැඩි කරන්නේ නැතුව මේක සාධාරණ විසඳුමක් කියලා සඳහන් කරනවා.

අපේ යෝජනාව තුළ අපි විකල්ප තුනක් ඉදිරිපත් කළා. ඒ විසඳුම් තුනේ එකක් නැවත විභාගය පැවැත්වීම. අනෙක් විසඳුම ඒ ප්‍රශ්න තුන ඉවත්කරලා ඒ ලකුණු අනිත් ප්‍රශ්න සඳහා ලබාදීම. අනිත් විසඳුම පිළිතුර කුමක් වුවත් නිදහස් ලකුණක් ලබාදීම. අපි මේ විසඳුම් තුන විශේෂඥ කණ්ඩායමට ඉදිරිපත් කළා. ඒ අයගේ මත අනුව අපි අවසන් වශයෙන් ඊයේ ප්‍රකාශ කළේ නිදහස් ලකුණකට යනවා නැවත විභාගය පවත්වන්නේ නැතුව කියලා..."

මේ අතර මතභේදයට තුඩු දී ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්නපත්‍ර ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසයි.

Aruna