Friday, September 27, 2024
Follow Us
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටකළැයි උපකාරක ගුරුවරයා අත්අඩංගුවට

පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කලින් පිටකිරීමේ චෝදනාවට රහස් පොලිසිය සොයමින් සිටි උපකාරක පන්ති ගුරුවරයා ඊයේ (24 වැනිදා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලව්ව, තුල්හිරිය, අරලිය උයනේ පදිංචි එම්.සී. කුමාර ඉලංගසේකර නමැති උපකාරක පන්ති ගුරුවරයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටකළ​ චෝදනාවට ඉකුත් 23 වැනිදා කුරුණෑගල තිත්තවැල්ලේදී අත්අඩංගුවට ගත් ඊ.පී.එස්. ප්‍රේමතිලක නමැති ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අධ්‍යක්ෂවරයා විසින් ශිෂ්‍යත්ව විභාගයට සකස් කළ ප්‍රශ්න කිහිපයක් මෙම ගුරුවරයා වට්ස්ඇප් සමූහයක් මගින් තම පන්තියේ දරුවන්ට බෙදාහැර ඇති බව විමර්ශනවලදී හෙළිකර ගෙන ඇත.

මෙම සිද්ධිය හෙළිවීමත් සමග ගුරුවරයා වට්ස්ඇප් සමූහය මකා දමා ඇති බවත් හෙළිකරගෙන තිබේ.මෙම මකා දමා ඇති දත්ත යළි ලබාගැනීමට හා මෙම ප්‍රශ්න පිටකිරීමේ ජාවාරමට සම්බන්ධ සෙසු පිරිස් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් මත මූල්‍ය විමර්ශන අංශ (iv) ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් ද සිල්වා, පොලිස් පරීක්ෂක සූරසිංහ ඇතුළු කණ්ඩායමක් විමර්ශන මෙහෙයවයි.

අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර හමුවට ඊයේ (24) ඉදිරිපත් කළ පසුව ලබන මස හත්වනදා තෙක් රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

Aruna