Monday, September 16, 2024
Follow Us
කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ඒකක කිහිපයක ජනතා අයිතියට

කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මහල් 08 කින් යුක්ත මිලේනියම් වාට්ටු සංකීර්ණයේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය හා රසායනාගාර ඒකකය ඇතුලු රෝගී ප්‍රතිකාර ඒකක කිහිපයක් ජනතා අයිතියට පත් කිරිම ඊයේ (05) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සහභාගීත්ව‌යෙන් සිදු කෙරිණි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයකට අනුව රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම්වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමඟ පවත්වාගෙනයෑම මූලික අරමුණ කරගෙන රෝහල්වල පවතින අඩුපාඩු සොයා බලා කඩිනම් විසඳුම් ලබාදෙමින් ගුණාත්මක හා විධිමත් සුව සත්කාර සේවාවක් ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති විශේෂ වැඩපිළිවෙළට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පසුගිය කාලවකවානුව තුල රෝහලේ වත්මන් ක්‍රියාකාරීත්වය, ප්‍රතිකාර සේවාවන් මෙන්ම සංවර්ධන කටයුතු නීරීක්ෂණයට ලක් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉහත ඒකක කඩිනමින් රෝගී ප්‍රතිකාර සේවා සදහා එක් කිරිමට අවස්ථාව ලැබී ඇත.

මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශය තුල පිහිටා ඇති ප්‍රධානතම රෝහලක් වන කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ප්‍රතිකාර සේවාවන් ලබාගැනීමට දිනපතා රෝගීන් සහ මහජනතාව වැඩි වශයෙන් පැමිණෙන බවත්, ඉහත ඒකක ප්‍රතිකාර සේවා සදහා එක් කිරීමත් සමග රෝහල මගින් ලබාදෙන සෞඛ්‍ය සේවාවන් තවත් ශක්තිමත් වන බවයි.

රෝහලේ සුළු ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම රෝහල් මට්ටමින් සිදු කෙරෙන අත්‍යාවශ්‍ය මිලදී ගැනීම් සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගෙන ඇති බවත්, තවත් රෝගී ඇදන් 500 ක් මෙම වාට්ටු සංකීර්ණයට එකතුවීමට නියමිත බවත්, මෙහිදී අදහස් දක්වමින් රෝහල් අධ්‍යක්ෂවරිය වන වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය පෙන්වා දෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඉංජිනේරු සාලින්ද බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයීම්) දිනිප්‍රිය හේරත්, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය යන මහත්ම මහත්මීන් ඇතුලු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ.