Saturday, September 14, 2024
Follow Us
ජාත්‍යන්තර බොක්සිං තරගාවලියක දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් ඇතුළු පදක්කම් 05 ක්

තායිපේ සිටි කප් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ දී ශ්‍රී ලාංකික යොවුන් බොක්සිං ක්‍රීඩකයින් රන් පදක්කම් 02 ක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන 08/27 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය ඉකුත් 08/22 දින සිට 08/25 දින දක්වා  තායිවානයේ තායිපේ නුවර ප්‍රථම වතාවට ලෝකයේ යොවුන් බොක්සිං ක්‍රීඩකයින් වෙනුවෙන් සංවිධානය කර තිබූ අතර ඒ සදහා රටවල් 08 ක යොවුන් බොක්සිං ක්‍රීඩකයින් සහභාගී වී සිටියහ .

එහිදී කොළඹ රාජකීය විද්‍යාලයේ තෙනුවන් මීගල්ල සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ එච්.එම්.පී.ඩී.හීන්කෙන්ද යන යොවුන් බොක්සිං ක්‍රීඩකයින් දෙදෙනා රන් පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි .

එසේම කොළඹ සහිරා විද්‍යාලයේ තුෂාල් ආසිල් මෙම තරගාවලියට සහභාගී වී රිදී පදක්කමක් දිනා ගෙන තිබුණි .

ඊට අමතරව පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ රවිදු ජීවන්ත සහ වේයන්ගොඩ ජනාධිපති ජාතික විද්‍යාලයේ මවිදු නිම්සර යොවුන් බොක්සිං ක්‍රීඩකයින් දෙදෙනා ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි .

එසේම මෙම තරගාවලියේ හොදම විනිසුරුවරයා ලෙස ශ්‍රී ලංකාවේ කපිල සුගතදාස මහතා සම්මානයට පාත්‍ර වී තිබුණි .

මොවුන් සියලුම දෙනා ඊයේ (27) රාත්‍රී 07.00 ට චීනයේ සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මොවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් මෙන්ම මෙම යොවුන් බොක්සිං ක්‍රීඩකයින්ගේ පාසැල් වල විදුහල්පතිවරුන් , ගුරුභවතුන් සහ ඔවුන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .