Saturday, September 14, 2024
Follow Us
අතුරුදහන් වුවන්ගේ ජාත්‍යන්තර සැමරුම් උත්සවය අධිකරණ ඇමති ප්‍රධානත්වයෙන්

අගෝස්තු මස 30 වන දිනට යෙදී ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ජාත්‍යන්තර අතුරුදහන් වු තැනැත්තන්ගේ දිනය සැමරීම අද (28) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ  දී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අතුරුදහන් වු තැනැත්තන් සඳහා  වන කාර්යාලය මෙම  උත්සවය සංවිධානය කර තිබු අතර, සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය අධිකරණ අමාත්‍යවරයා විසින්   සිදු කළේය.

මෙහිදි අදහස් දැක්වු  අමාත්‍යවරයා, අතුරුදහන්වුවන්ගේ පවුල්වල හා  ඔවුන්ගේ පවුල්වලට යුක්තිය සහතික කිරීමට කැපවීමෙන් කටයුතු කරන බවත්, මෙරට පැවති සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීම මුලික කර ගනිමින් ආරම්භ කරනලද අතුරුදහන් වුවන්ගේ කාර්යාලය මේ වන විට අතුරුදහන් වුවන්ගේ තත්වය තීරණය කිරීම හා  ඒ සඳහා  විසඳුම් ලබාදීම වෙනුවෙන් සිදු කරන ලද කාර්යභාරය හරහා  ජනතාව අතර, විශ්වාසය තහවුරු කර ගෙන සිටින බවත් පැවසීය.

එක් දහස් නවසිය අසුවේ  සිට මේ දක්වා  පුද්ගලයින්  දා හතර දහස් පන්සීයයක් අතුරුදහන්ව තිබෙන බවත්  අතුරුදහන් තැනැත්තන්ට සාධාරණය ඉටු කිරීම සදහා පවතින යාන්ත්‍රණය තුළින්ම එම ජනතාවට පිළිතුරු ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

 ඇතැම් අය අතුරුදහන් වු ජනතාවට පවතින ගැටළු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරන බවත්, උතුරේ හෝ  දකුණේ මේ කොතැනක සිටියත් ශ්‍රී ලාංකිකයින් බව වටහා ගත යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.  ඔවුන්ට පවතින ගැටළු විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතාවලට  භාවිතා කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවත්  යුද්ධයට සම්බන්ධව සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දොලොස් දහස් නවසීයක් රජය විසින් පුනරුත්ථාපනය කර නිදහස් කළ බවත්, ඒ අය නැවතත් ත්‍රස්තවාදී කටයුතු සදහා  සම්බන්ධ  නොවුනු බවද පැවසීය.

තම ඥාතීන් අතුරුදහන් වීම හේතුවෙන් අසහනකාරී තත්වයට පත්ව සිටින අයගේ හඬට කන්නොදී ඉදිරියට යා නොහැකි බව වටහා ගත යුතු බවත්, මේ සදහා  අතුරුදහන් වු තැනැත්තන් සදහා වු කාර්යාලයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා  දුන්නේය.

සත්‍ය හා  ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලය පිහිටුවීම මගින් අතුරුදහන් ජනතාවට සාධාරණය ඉටු කර ගැනීම සදහා  තවදුරටත් අවස්ථාව ලබා දෙන බවත්, ශ්‍රී ලංකාවේ කටයුතු සඳහා  අන්තර්ජාතික ප්‍රජාව ලබා දෙන තාක්ෂණික සහයෝගය අගය කරන බවත් ඒ වෙනුවෙන් ගෞරවය පුද කරන බවත් කී අමාත්‍යවරයා,  නමුත් ඔවුන් අපේ රටේ අභ්‍යන්තරව කටයුතුවලට බලපෑම් නොකළ යුතු බවත් පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට අතුරුදහන් වු තැනැත්තන් සදහා වු කාර්යාලයේ සභාපති, නීතිඥ, මහේෂ් කටුලන්ද, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්  නිහාල් රණසිංහ,  නීතිපති, ජනාධිපති නිතීඥ පාරින්ද රණසිංහ,  ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් Sandile Edwin Schalk, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනී ආචාර්ය, Siri Walt, අතුරුදහන් වු තැනැත්තන් සදහා වු කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ, ජේ.තත්පරන් මහත්මා ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන් හා අතුරුදහන් වු තැනැත්න්ගේ ඥාතීන් පිරිසක් එක්ව සිටියහ.