Friday, September 13, 2024
Follow Us
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ වාර්තාව කථානායකවරයාට පිළිගන්වයි
 
ස්ත්රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ පර්යේෂණ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය විසින් පසුගිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට පිළිගන්වන ලදී.

පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙන් යුතුව කාන්තාව හා මාධ්ය සාමූහිකය (Women and Media Collective) ඇතුළු පර්යේෂකයන් පිරිසක් විසින් මෙම වාර්තාව සකස්කරන ලදී.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේ නියෝජ්ය සම සභාපතිනි රෝහිණි කුමාරි විජේරත්න සහ පාර්ලිමේන්තු මන්ත්රී එරාන් වික්රමරත්න යන මහත්ම මහත්මීහූ ද මෙම අවස්ථාවට එක්වූහ.
 
මෙහිදී අදහස් දක්වමින් කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ මෙම වැටුප් අසමානතා වෙනස් කිරීම සඳහා නීති සම්පාදනය සහ නව ප්රතිපත්ති සකස් කිරීම වැදගත්වන බවයි. එසේම මෙම අයිතීන් තහවුරු වන පරිදි ආණ්ඩුක්රම ව්යවස්ථාවට ප්රතිපාදන ඇතුළත්විය යුතු බවට මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. සංසදයේ සභාපතිවරිය පෙන්වා දුන්නේ මෙම ස්ත්රී පුරුෂ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා සමාජයේ පුද්ගලයින් තුළ ආකල්පමය වෙනසක්ද සිදුවිය යුතු බවයි. එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මෙම කාර්ය සාර්ථක කර ගැනීමට දායකත්වය දැක්වූ සැමට ස්තූතිය පුද කර සිටියාය.
 
කාන්තාව හා මාධ්ය සාමූහිකයේ විධායක අධ්යක්ෂ ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ මහත්මිය ප්රමුඛ පර්යේෂණ කණ්ඩායම මෙම පර්යේෂණ වාර්තාව පිළිබඳව අදහස් පළ කරමින් පැවසුවේ ශ්රී ලංකාවේ ශ්රම වෙළඳපොලේ ස්ත්රී පුරුෂ වැටුප් පරතරය මූලිකවම වැටුප් නොලබන සත්කාර සේවා සමඟ සමීපව බැඳී ඇති බවයි.
 
ඉහළ වැටුප් ලබන කර්මාන්තවල කාන්තා නියෝජනය අඩු වන අතර අඩු වැටුප් සහිත සේවා භූමිකාවන් වෙත කාන්තාවන් සංකේන්ද්රණය වී ඇති බවත් කාන්තාවන්ගෙන් සැලකිය යුතු ප්රතිශතයක් අර්ධකාලීන රැකියා සහ වැටුප් රහිත ගෘහාශ්රිත සත්කාර සේවා වල නියැලෙන බවත් එම පර්යේෂකයින් අවධාරණය කරන ලදී.
 
මේ අවස්ථාව සඳහා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්යාංශය, කාන්තාව හා මාධ්ය සාමූහිකය (Women and Media Collective), ජාත්යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), ජාතික ප්රජාතන්ත්රවාදී ආයතනය (NDI) ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.