Tuesday, September 10, 2024
Follow Us

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව සීෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාර නිලධාරීන් ලෙස සේවය කිරීම සඳහා තැනැත්තන් බඳවාගත් විදේශ රැකියා නියෝජිතායතනයක්  කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් පසුගිය දා (07) වැටලීම් කර තිබේ.

මීගමුව නගරයේ පවත්වාගෙන ගිය බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක් විසින් මෙම රැකියා සඳහා නීතිවිරෝධි අයුරින් බඳවාගැනීම් සිදුකර ඇති අතර, ඒ පිළිබඳව කාර්යාංශය වෙත ලද තොරතුරක් අනුව මෙම වැටලීම මෙහෙයවා ඇත.

විමර්ශන නිලධාරීන් විසින් අදාළ ස්ථානය පරීක්ෂා කිරීමේදී සීෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාරවල සේවය කිරීම සඳහා ලබාදී තිබූ විදේශ ගමන් බලපත්‍ර 06ක් හා ඊට අදාළ අයදුම්පත්‍ර 06ක්ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

අදාළ ආයතනයේ රැකියා බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කාර්යාංශය මේ වන විට පියවර ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් රැකියා නියෝජිතායතනයේ හිමිකරු ඊයේ (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

විදෙස් රටවල බන්ධනාගාරවල සේවය කිරීම සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරීමේ වැඩපිළිවෙළක්  මෙතෙක් ක්‍රියාත්මක නොවන බැවින්, එසේ රැකියා සඳහා යොමුකරන බව පවසා මුදල් ලබාගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු ලබාදෙන මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර, කාර්යාංශයේ වලංගු රැකියා බලපත්‍රයක් නොමැතිව මීගමුව ප්‍රධාන බස්නැවතුම්පොළේ පළමු මහලේ Golden High International (Pvt) Ltd නමින් වංචනික විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් අනුව විමර්ශන නිලධාරීන් විසින් පසුගිය දා (07) අදාළ ආයතනය වැටලීම් කරන ලදී.

එහිදී, කැනඩාව, රුමේනියාව, ජර්මනිය, ඩුබායි වැනි රටවල රැකියා සඳහා පුද්ගලයින් යොමුකිරීමට ලබාගෙන තිබූ විදේශ ගමන් බලපත්‍ර 19ක්, රැකියා වීසා බලපත්‍ර, රැකියා අයදුම්පත් හා ගිවිසුම් රැසක් නිලධාරීන් භාරයට ගෙන තිබේ. 

එම ස්ථානයේ හිමිකරු ලෙස කටයුතු කළ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඊයේ (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බඳවා ගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේ ද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුව ද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.