Saturday, September 07, 2024
Follow Us
නවගමුව ප්‍රාදේශිය රෝහලට සුව දිවි සායනක්

 නවගමුව ප්‍රාදේශිය රෝහලේ ඉදි කිරීමට නියමිත සුව දිවි සායන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) සිදු කෙරිණි.

නව ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා රුපියල් ලක්ෂ දෙසිය හැට හතරක මුදලක් වැය කිරීමට නියමිත අතර ඉන් රුපියල් ලක්ෂ 150 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී තිබේ.

අධිකරණ අමාත්‍යතුමාට ලබාදී ඇති විමධ්‍යගත අරමුදලෙහි සම්පූර්ණ මුදල් ප්‍රමාණය වන රුපියල් ලක්ෂ 114 ක මුදල රෝහල් ගොඩනැගිල්ල ඉදි කිරීමට වෙන් කර ඇත.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන එම්.ඩී.එච්. ජයවර්ධන මහතා විසින් 1966 වසරේදී නවගමුව ප්‍රාදේශිය රෝහල ඉදි කිරීම ආරම්භ කර තිබේ. මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ අති පුජ්‍ය මහානායක, නවගමුව සුගතබ්ම්බාරාම රාජමහා විහාරාධිපති, මල්වානේ ශ්‍රී ප්‍රඥාසාර මහානායක ස්වාමීන් වහන්සේ පැමිණ සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවමින් විශේෂ අනුශාසනාවක් සිදු කළහ.

මුල්ගල තැබීමෙන් අනතුරුව පැවති උත්සවය අමතමින් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

මෙම රෝහල් ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා රුපියල් ලක්ෂ 264 ක මුදලක් වෙන් කර තිබෙනවා. ඉන් ලක්ෂ 150 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මැදිහත්වීමෙන් ලබා දුන්නා. ඉතිරි රුපියල් ලක්ෂ 114 ක මුදල මා වෙත වෙන් කර තිබෙන විමධ්‍යගත මුදල්වලින් වෙන් කර තිබෙනවා.

රෝහලේ පහසුකම් නැංවීම සඳහා  වු වැඩපිළිවෙළේදී නවගමුව රාජමහා විහාරාධිපති අති පුජ්‍ය මල්වානේ ප්‍රඥාසාර මහානායක  ස්වාමීන් වහන්සේගෙන් ලබා දුන් උපදෙස් අගය කළ යුතුයි. මා පසුගිය වසර කිහිපය තුළ අවස්ථා හතරකදී මෙම රෝහලට ආවා. මේ රෝහල ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය අපි හඳුනා ගත්තා. බස්නාහිර පළාතේ වැඩිම ජනගහණයක් සිටින මැතිවරණ කොට්ඨාසය කඩුවෙල ආසනයයි. නමුත් මේ ප්‍රදේශවල සෞඛ්‍ය පහසුකම් දියුණු වෙලා නැහැ .මේ රෝහලේ පැවති අඩුපාඩු පිළිබඳව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කරමින් හැකි පමණින් පහසුකම් ලබාදීමට ක්‍රියා කළා. දැන් වෛද්‍යවරුන් නව දෙනෙකු සේවය කරනවා. මේ රෝහල සඳහා පහසුකම් ලබාදීමේ වැදගත්කම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවබෝධ කර ගෙන තිබෙනවා. වර්තමානය වන විට ප්‍රාදේශිය රෝහලත් බවට පවත්වා ගෙන යන මේ රෝහල දිස්ත්‍රික් රෝහලක් බවට පත් කළ යුතුයි.