Friday, October 18, 2024
Follow Us
කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතියේ අන්ත දෙකක ඉදිකිරීම් ඒකාබද්ධ කෙරේ

ඉදිකිරීම් අවසන් අදියරේ පවතින කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතියේ වරාය නගරය සහ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට අන්ත දෙකක් ඔස්සේ සිදුවෙමින් පැවැති  ඉදිකිරීම් එකිනෙක යා කිරීම ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදුවිය.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ අමාත්‍යවරයා;

"ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ගමන් මග වෙනස් කෙරෙන ඓතිහාසික වැදගත්කමකින් යුතු දිනයක් බවට මේ අවස්ථාව පත්වනවා. රටේ ප්‍රධානම ආර්ථික මර්මස්ථානයක් වන වරාය හරහා දිවෙන ශ්‍රී ලංකාවේ දිගම කනුමත දිවෙන ගුවන් පාලම වන වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ගයයි. 2018 වසරේ සිට අන්ත දෙකක සිට ඉදිකිරීම් සිදුකොට එම ඉදිකිරීම් ඒකාබද්ධ කිරීමේ ඓතිහාසික අවස්ථාව මේ මොහොතේ සිදුවනවා. 

ගාලු මුවදොර දෙසින් කණු මත ඉදි වන කොටසත් ඉඟුරු කඩේ හන්දිය දෙස සිට ඉදිකිරීම් සිදුවන කොටසත් මේ අනුව ඒකාබද්ධ වනවා. ඔක්තෝම්බර් මුල් සතිය වන විට සියලු ඉදිකිරීම් අවසන් කර මෙම පාලම ජනතා පරිහරණය වෙනුවෙන් විවෘත කිරීමට අප බලාපොරොත්තු වනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 300ක ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ චීන සිවිල් ඉදිකිරීම් ඉංජිනේරු ආයතනය මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබනවා.

මෙම ව්‍යාපෘතිය නිමවීමත් සමග රටේ ජාතික නිෂ්පාදනය ආදායම සේවා නියුක්තිය මිල මට්ටම ගෙවුම් ශේෂය වැනි සාර්ව ආර්ථික විචල්‍යයන් කෙරෙහි සුවිශේෂී බලපෑමක් සිදු වනවා.

වරාය පරිශ්‍රය සහ රටේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය එකිනෙක සම්බන්ධ කරන මාර්ගය බවට මෙම ව්‍යාපෘතිය පත් වනවා. ඒ ඔස්සේ ගාලු මුව දොරින් මෙම මාර්ගයට ඇතුළු වී අධිවේගී මාර්ග පද්ධතිය ඔස්සේ  ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට තදබදයකින් තොරව ගමන් කිරීමේ හැකියාව රථවාහන වලට හිමිවනවා. 

එමෙන්ම ශ්‍රී ලංකාව අන්තර්ජාතික වෙළඳපොළ කරා ගමන් කිරීමේදී අපනයන අභිමුඛ ආර්ථිකයත් ඇති කිරීම සඳහා අපනයනය කෙරෙන භාණ්ඩ වරාය දක්වා රැගෙන ඒමටත් ආනයනය කරන භාණ්ඩ රට පුරා බෙදා හැරීමටත් කන්ටේනර් ප්‍රවාහනය කිරීමේ පහසුම මාර්ගය බවට ද මේ මාර්ගය පත්වනවා.

එමෙන්ම අද දිනය අපේ රටේ ඉතිහාස ගතවන දිනයක්. 2048 දක්වා පූර්ණ ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමේ අරමුණ වෙනුවෙන් ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුව තුළ සම්මත වීම සිදුවනවා. ඒ තුළින් රටේ අනාගත ඉරණම තීරණය වීම සිදුවනවා. 

අද නීතියක් බවට පත්වන ආර්ථික ඉලක්ක ඒ ආකාරයෙන් සපුරා ගැනීම තුළින් පමණක් 2048 වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත දේශයක් බවට පත්කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

අතීතයේ සිට පවත්වාගෙන ආ වැඩපිළිවෙළ පූර්ණ පරිවර්තනයකට ලක්වන ආකාරයේ නිශ්චිත වැඩපිළිවෙළක් සහ ඉලක්කයක්, අරමුණක් පැහැදිලිව දක්වන වඩාත් වැදගත් වන, නිදහසින් පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ රට සමස්ත පරිවර්තනයක් සඳහා යොමු කරන සුවිශේෂි පනතක් සම්මත වන අවස්ථාවේදීම මෙම ඓතිහාසික කටයුත්ත ද සිදු කිරීමට හැකිවීම විශේෂ අවස්ථාවක්. "

මෙරට විශේෂ සංචාරයකට එක්ව සිටින වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාරව කටයුතු කරන චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සමාගමේ (CCECC) සභාපති ලියු වෙයිමින් (Liu Weimin) මහතා ද මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සහභාගි විය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.