Sunday, September 08, 2024
Follow Us
මුඛ පිළිකාව වළක්වා ගන්න පුළුවන්

සරල මුඛ පරීක්ෂණයක් සිදුකිරීමෙන් මුඛ පිළිකාවක් සෑදීමේ අවධානම කල්තියා හඳුනාගත හැකි යැයිද, එලෙස හඳුනාගැනීමෙන් එය දරුණු පිළිකා තත්ත්වයකට යාමට නොදී වළක්වාගත හැකි බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

 විශේෂඥ වෛද්‍යවරයා මේ බව පැවසුවේ එළඹෙන 27 වනදාට යෙදෙන ලෝක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනයට සමාගාමීව ඊයේ (24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මුඛ සහ ගෙල පිළිකා සම්බන්ධයෙන් කතා කිරීමේදී ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත් වන්නේ මුඛ පිළිකා බවද, වසර ගණනාවක සිට මෙරට පිරිමින් අතර බහුලම පිළිකාව මුඛ පිළිකාව යැයිද ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.

කාන්තාවන් අතර හටගන්නා පිළිකා අතර මුල් 10ට එනම් 08 වන ස්ථානයට මුඛ පිළිකාව ඇතුළත් වන බවද මෙම පිළිකාව සෑදීමට වඩාත්ම වැදගත් හේතුව ලෙස අප සංස්කෘතියෙහි පුරුද්දක් වශයෙන් පැවත එන බුලත් විට සැපීම සැලකෙන බවද පැවසුවේය.

අද අපි හඳුනාගන්නා මුඛ පිළිකා වලින් බහුතරය හඳුනාගන්නේ එම පිළිකා තත්ත්වය දරුණු තත්ත්වයකට වර්ධනය වීමෙන් පසුව බවද, ස්වයං මුඛ පරීක්ෂාවක් හෝ සායනික මුඛ පරීක්ෂාවක් මගින් මුඛ පිළිකා හඳුනාගත හැකි බවද වැඩිදුරටත් පැවසුවේය.

ස්වයං මුඛ පරීක්ෂාව තමන් විසින්ම සිදුකරගත හැකි බවද සායනික මුඛ පරීක්ෂාව සඳහා රජයේ රෝහලක සුදුසුකම් ලත් දන්ත වෛද්‍යවරයෙකු වෙත යාමෙන් සිදුකරගත හැකි බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.