Friday, October 18, 2024
Follow Us
අධික දුම් පිටවන වාහන දැක්කොත් දැනුම් දෙන්න

ධාවනයේ දී අධික දුම් පිටවන වාහනයක් නිරීක්‍ෂණය වුවහොත් ස්ථානය, වෙලාව, දිනය හා වාහන අංකය සඳහන් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වට්ස්අප් අංකයට ඡායාරුපයක් හෝ වීඩියෝපටයක් ලබා දීමට කටයුතු කරන ලෙස වාහන හා වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩපිළිවෙල සහ වර්තමාන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 070 3500525 වට්ස්අප් අංකයට එම වාහන වල විස්තර එවීමට ජනතාවට අවස්ථාවක් ලැබෙන බවත්, ඊට ලැබෙන පැමිණිලි පරික්ෂා කර බලා එම රථවාහන හිමියන්ට කැඳවීමක් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර හෝ දිස්ත්‍රික් කාර්යාල වලට ගෙනවිත් පරික්ෂා කරවා ගන්නා ලෙස දැනුම් දීමක් සිදු කරන බවත්, එම කැඳවීමට ප්‍රතිචාරයක් නොමැති නම් අවසාන නිවේදනයක් නිකුත් වෙන අතර ඊට ද ප්‍රතිචාර නොදක්වයි නම් වාහනය අසාදු ලේඛන ගත වෙන බවත් හෙතෙම මෙහි දී සඳහන් කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන, වායු විමෝචන සම්බන්ධව නීති රෙගුලාසි සකස් කරන ආයතනය වේ.

වාහන, වායු විමෝචන ප්‍රමිතීන් සකස් කිරීම සඳහා ලැබුණු 1999 දී ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත 2000 දී ප්‍රමිතීන් සකස් වී ඇති අතර එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ද ඉක්මවා ගොස් ජනතාවවට ඕනෑම මොහොතක කිලෝමීටර 5ත් 10 ත් ඇතුළත දුම් පරීක්ෂාවක් කර ගැනීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය මේ වන විට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සකස් කර තිබේ.

දුම් පරීක්ෂාවක් සිදු කිරීමේ දී තමන්ගේ වාහනයේ තිබෙන දුමේ තබාගත යුතු ප්‍රමිතිය කුමක් ද යන්න වාහන හිමිකරුවන්ට අවබෝධයක් ලබා දීම හා නිසි ප්‍රමිතියෙන් යුතුව වාහන දුම තිබේ නම් එය පවත්වාගෙන යාමත්, පරීක්ෂණයේ දී දුම නිසි ප්‍රමිතියේ නැත්නම් ඊට වහාම ක්‍රියාමාර්ග ගෙන වහනය නඩත්තු කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කිරීමත් මෙහි දී සිදු වේ.

පසුකාලීනව ලබා දුන් අධිකරණ තීන්දු සමඟ වාහන වායු විමෝචනය සියලුම වාහන වලට අනිවාර්ය කිරීම නිමිතිකොට ගෙන දුම්පරික්ෂාව අදායම් බලපත්‍රය ලබාගැනීමේ පූර්ව අවශ්‍යතාවයක් බවට පත් කිරීම මත සියලු වාහන දුම් පරික්ෂාව ලබා ගැනීමට මේ වන විට කටයුතු කර තිබේ.

පසුකාලීනව පාරේ ධාවනය වන අවස්ථාවේ දී දුම නිකුත් නොවේ ය යන්න පිළිබඳව දුම පරික්ෂා කළ ද කිසිඳු මොහොතක සහතික විය නොහැකි බව පැවසු අධ්‍යක්ෂවරයා දුම් පරීක්ෂාවෙන් සිදු කරන්නේ වාහන හිමියන්ට සිය වාහනය පිළිබඳව හා නඩත්තුව පිලිබඳ අවබෝධයක් ලබා දෙන බව මෙහි දී සඳහන් කළේය.

අධික වායු විමෝචනය සිදු වන්නේ නම් එය නිත්‍යානුකුල නොවන බවත් ඒ සම්බන්ධව කටයුතු කිරීමට රථවාහන පොලිස් නිළධාරීන්ට හැකි අතර අධිකරණ කටයුතු වලට යොමුවනු ඇති අතර නොඑසේනම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂණ නිලධාරීන් වෙත අදාළ වාහන යොමු කරන බවත්, වාහන හිමියන් සද්භාවයෙන් යුතුව සිය වහනය පරික්ෂා කරවාගැනීම සඳහා පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යා යුතු බවත් හෙතෙම පැවසිය.

දුම් සහතිකය සමත් නමුත් අධික කළු දුම පිටකරින් වාහන ධාවනය කිරීම නිරීක්ෂණය වන්නේ ව්‍යාජ ක්‍රම වලට දුම් පරික්ෂා වලට යොමු වී වාහන අදායම් බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන පුද්ගලයින් බවත් ඉදිරියේ දී ඒ සම්බන්ධව අවශ්‍ය පියවර ගනු ලබන බවත් දසුන් ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.