Sunday, September 08, 2024
Follow Us
රත්නපුර අළුපොත පාළම වැඩ අවසන්කර ජනතා අයිතියට පත්කෙරේ

පළාත් සභා පළාත් පාලන රාජ්‍ය  අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක  ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ ඉදිකළ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යා කරන අළුපොත පාළම වැඩ අවසන්කර ජනතා අයිතියට පත් කිරීම පසුගියදා (17)  පළාත් සභා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම ඉදිකිරීම් නෙදර්ලන්ත ණය ආධාර යටතේ ක්‍රියාත්මක පෙර සවි පාලම් ව්‍යාපෘතිය මගින් ඉදිකරනු ලබන අතර මෙමෙ පාළම දිගින් මිටර් 30 වන අතර මේ වෙනුවෙන් රුපියල් මිලියන සියයක වියදමක් දරා ඇත.

පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාසයත් නීවිතිගල මැතිවරණ කොට්ඨාසයත් යා කරමින් හංගමුව ගඟ හරහා මෙම පාලම ඉදිකර තිබෙන අතර අලුපොත සහ පෑලිමෝදර යන ගම් සම්බන්ධ කරමින් මෙන්ම පැල්මඩුල්ල- නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ප්‍රාදේශීය සභාව වශයෙන් ද සම්බන්ධ වීම නිසා ජනතාවගේ දෛනික කටයුතුවලට විශාල පහසුවක් වී සැලසී ඇතැයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම පාලම ඉදිකිරීම තුළින් ගම් රැසක පවුල් දහස් ගණනකට විශාල සේවයක් සැලසෙන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා නව පාලම ඉදිකිරීමට පෙර ත්‍රීවීල් රථයක් පමණක් ගමන් කිරීමට හැකි ඉතා අබලන් පටු පාලමක් ජනතාව භාවිතා  කළ බවද පැවසුවේය.

නිරන්තරයෙන් ගලන ගංවතුරට එම පාලම යටවීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයකට මින් පෙර මුහුණ දුන් බවද  පැරැණි පාලමට ඉහළින් නව පාලම ඉදිකර තිබෙන්නේ ඕනෑම ගංවතුරකට හසු නොවන ආකාරයට යැයිද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂමන් ප්‍රේමරත්න මහතා ඇතුළු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිසක් සහභාගී විය.