Sunday, September 08, 2024
Follow Us
ඵෙතිහාසික සෝමාවතී පුදබිමේ “නව පර්යන්ත රෝහලක්”

ඵෙතිහාසික සෝමාවතී රජ මහා විහාරස්ථාන පුද බිමේ “ නව පර්යන්ත රෝහලක් ” ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඊට අදාළව විශේෂ සාකච්ඡාවක් ඊයේ  (19)  සෝමාවතිය රජ මහා විහාරයේ විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්  සෝමාවතී රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

සෝමාවතිය රජ මහා විහාරයේ විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් නව රෝහලක් ඉදිකර දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කරනු ලැබූ ඉල්ලීමට අනූව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හට ලබා දුන්  උපදෙස් මත මෙම විශේෂ සාකච්ඡාව සිදුවිය.

දෛනිකව සෝමාවතී පුද බිම  වන්දනා කිරීමට 1000 ආසන්න බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙන බවත්, පොහෝ දිනයන් හිදී එම ප්‍රමාණය 50000 ඉක්මවන බවත්, පොසොන්, ඇසල පොහෝ දිනයන් හිදී ලක්ෂයකට අධික බැතිමතුන් සෝමාවතිය වන්දනාමාන කිරීමට පැමිණෙන බවත්, එහිදී හදිසි රෝගී තත්ත්වයන්ට පත්වන බැතිමතුන්හට ප්‍රතිකාර කිරීම  සදහා පොලොනරුව මහ රෝහලට ‍ගෙන යායුතු බවත්, නව රෝහල ඉදිකිරීමෙන් බැතිමතුන්ට විශාල සේවාවක්, සහනයක් සිදුවන බව  සෝමාවතිය රජ මහා විහාරයේ විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු  පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

පොලොන්නරුව මහ රෝහල වෙත රෝගී වන බැතිමතුන් ප්‍රවාහනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත පොලොන්නරුව මහ රෝහ‍ලෙන් ගිලන්රථ දෙකක් මේවන විට විහාරස්ථාන භූමියේ සිට සේවාවන් සිදුකරන බව ද, සුංගාවිල, කටුවන්වල, ගල්කන්ද, කන්දකාඩු යන අවට ගම්මාන වල වෙසෙන ජනතාවටත් මෙම නව රෝහල ඉදි කිරීමෙන් ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීමේ හැකියාව පවතින බව ද විහාරාධිපති හිමියන් වැඩිදුරටත් මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම නව රෝහල බාහිර රෝගී අංශයකින්, හදිසි ප්‍රතිකාර ඒකකයකින්, කාන්තා සහ පිරිමි වාට්ටු දෙකකකින් මෙන්ම වෛද්‍යවරුන් පුමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට නේවාසික පහසුකම් සහිතව ඉදිකිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා  මෙහිදී සඳහන් කළේය 

මෙම නව රෝහල පොලොන්නරුව මහ රෝහලට අනුබද්ධිත පර්යන්ත රෝහලක් වශයෙන් ක්‍රියාත්මක වන බවත්, වෛද්‍යවරුන්, හෙදියන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්යමණ්ඩලය පොලොන්නරුවමහ රෝහලෙන් අනුයුක්ත කිරීමට පියවර ගන්නා බවත්,

විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන මෙම නව රෝහල ඉදිකිරීමට කටයුතු කරන බවත්, ඒ සදහා මෙම වර්ෂය තුළදී රුපියල් මිළියන 100 ක් වෙන් කිරීමට කටයුතු කරන බවත්, ඉදිකිරීම් කටයුතු මෙම වර්ෂය අවසන් වීමට පෙර හෝ ලබන වර්ෂයේ මුල් මාස කිහිපය තුළ අවසන් කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ලේකම්වරයා ‍ කීහ.

කඩිනමින් මීට අදාළ ඇස්මේන්තු මෙන්ම සැළසුම් (Plan Drawing) සකස් කිරීමට අදාළ නිළධාරීන්ට තමන් උපදෙස් ලබා දෙන බව පැවසූ ‍හෙතෙම මෙම  ඵෙතිහාසික පිං බිමට ගැළපෙන පරිදි ගෞරවනීය නායක ස්වාමීන්වහන්සේගේ  උපදෙස් , අනුශාසනා මත එම සැළසුම් නිර්මාණය කළ යුතු බවත්, එම සැළසුම් වලට නායක ස්වාමීන්වහන්සේගේ අනුමැතිය ලැබුණු පසු ඉදිකිරීම් ආරම්භ කරන බවද වැඩිදුරටත් මෙහිදී පැවසීය .