Sunday, September 08, 2024
Follow Us
නිල්වලා ගඟ අවට කුඹුරු ගැන ගත් තීරණයක්

වැසි සහිත කාලගුණික අවස්ථාවන් හි දී නිල්වලා ගඟේ ලවණ බාධකය නිසා ඇති වන ගංවතුර තත්ත්වයන් හේතුවෙන් නිල්වලා ගඟ අවට කුඹුරු හෙක්ටයාර් 4000ක් පමණ  නිරන්තරයෙන් ජලයෙන් යටවී හානියට පත් වන බවත්  මේ හේතුවෙන්  සිදුවන වගා හානි පිළිබඳව ගොවීහු විශාල පිරිසක් තමන්ට පැමිණිළි ඉදිරිපත් කර ඇති බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

මෙම කාරණය සම්බන්ධව දැඩි අවධානය යොමු කරන ලෙස ඊයේ (17) පැවති සාකච්ඡාවක දී  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

තවදුරටත් ගංවතුරට යට වන මෙම කුඹුරුවල වී වගාව කිරීම සඳහා ඇති උචිතානුචිතභාවය පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට දැනුම් දුන් අමාත්‍යවරයා, වගාහානි සිදුවන මෙම කුඹුරු ගොවීන්ට වන්දි මුදලක් ලබා දී එම කුඹුරු ඉඩම් රජයට පවරා ගන්නේ ද, නැද්ද යන්න හා ඊට  සම්බන්ධව කරුණු සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි කමිටුවක් පත් කර ඇතත් තවමත් ඒ සම්බන්ධව අවසන් තීරණයක් ගෙන නොමැති බවද කීය.

දැනට වසර ගණනාවක සිට මාතර දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර් 4000ක් නිරන්තරයෙන් ජලයෙන් යට වන බවත්, මේ නිසා ගොවි ජනතාවට වගා කන්න ගණනාවක් පාඩු වී ඇති බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ඒ හැම අවස්ථාවකම එම ගොවීන්ට වන්දි ලබා දීමට ද පියවර ගත් බවද මෙහිදි අනාවරණය විය.

ඉදිරි වගා කන්නවලදී ද අධික වර්ෂාවක් ලැබීමට ඇති ඉඩකඩ බෙහෙවින් වැඩි බැවින් මෙම කුඹුරු ඉඩම්වල වී වගා කිරීම තවදුරටත් ව්‍යාප්ත නොකළ යුතු බවට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.

ඒ අනුව නිල්වලා ගඟේ ලවණ බාධකය හේතුවෙන් ගංවතුරට යට වන කුඹුරුවල වී වගාව ව්‍යාප්ත නොකිරීමටත් වී වගාව   හැර වෙනත් වගාවන් සඳහා ගොවීන් උනන්දු කරවීමටත්, ඒ සඳහා ගොවි ජනතාවට අවශ්‍ය මුල්‍ය හා තාක්ෂණික පහසුකම් රජය මගින් ලබා දීමටත් වැඩ පිළිවෙළක් සැකසීමට තීරණය කරනු ලැබීය.

මෙම සාකච්ඡාවට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.