Sunday, September 08, 2024
Follow Us
අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ කැණිම් ඇරඹේ

පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන යටතේ අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ දී කැණිම් කටයුතු පසුගියදා ආරම්භ කෙරිණ. 134 වැනි පුරාවිද්‍යා දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන, අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ දී පැවති අතර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ද මෙම අවස්ථාවට එක්විණි.

එහිදී අනුරාධපුර මහා විහාර පරිශ්‍රය රුවන්වැලි සෑයට නැගෙනහිරින් පිහිටි කුජ්ජතිස්ස සෑයේ පිට ප්‍රාකාර සංරක්ෂණ කටයුතු, ථුපාරාම නැගෙනහිර ප්‍රධාන පිවිසුම් දොරටුවට ඉදිරිපිට පිහිටි පුරාණ ආරාමික ස්මාරක කලාපයේ ස්මාරක අංක 46 කැණීම් කටයුතු, ශ්‍රි  මහා බෝධියේ දකුණු පිටත ප්‍රාකාරයට පිටතින් බටහිර නැගෙනහිර දිශානුගතව විහිදියන ප්‍රාකාරයේ සංරක්ෂණ කටයුතු, රුවන්වැලි මහා සෑය ආසන්නයේ ඇති පංචාවාස ගොඩනැඟිල්ලෙහි ස්මාරක සංරක්ෂණ කටයුතු, ජේතවන ස්ථූපයට ජල ප්‍රතිරෝධක සවි කිරීම, දෙවන සමාධි බුදු පිළිමයේ ගල් කණු සංරක්ෂණය කටයුතු ආරම්භ කිරීම මෙහිදී සිදු කෙරේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අතිරේක ලේකම් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුසිත මැන්දිස් යන මහත්ම මහත්මීහු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු, මධ්‍යම සංස්කෘතික අරමුදල නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.