Sunday, October 06, 2024
Follow Us
ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමට රු.මිලියන 2000ක්

රාමීය අංශයේ කුඩා ව්‍යාපාරවල නිරත වන කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව හැකියාව නංවාලීම සඳහා සහන පදනම යටතේ ණය මුදලක් ලබා දීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවත්, ඒ අනුව මෙම වසරේ දී ඒ සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කරන ලද බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන සතිය ආරම්භ කරමින් පළමු ගම්මානය ලෙස හඟුරන්කෙත ගලඋඩගල ගම්මානයේ ගොවි පවුල්වලට ප්‍රතිලාභ  ලබා දීම සඳහා පැවැති උත්සවයට සහභාගි වෙමිනි.

මෙම උත්සවය ගලඋඩගල ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විනි.  මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.

මෙහිදී විවිධ කෘෂි ව්‍යාපෘති සඳහා තෝරාගත් පවුල් සඳහා කෘෂි උපකරණ, කුකුළු පැටව් හා කෝපි පැළ, පුවක් පැළ හා අනෙකුත් පැළ වර්ග රැසක් ද බෙදා දීම සිදු කෙරිණි.

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන යටතේ තෝරාගන්නා ලද ගම්මාන 160ක සිදු කරන සහභාගිත්ව සමීක්ෂණයකින් පසුව හඳුනාගන්නා ලද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා එක් ගමකට රුපියල් මිලියන 10ක් බැගින් ගම්මාන 160 සඳහා රජය විසින් රුපියල් මිලියන 1600ක මුදලක් වෙන් කර ඇත.