Saturday, October 05, 2024
Follow Us
සෞඛ්‍ය ලේකම්වරයා වෛද්‍ය සැපයීම් අංශයේ හදිසි නිරික්ෂණයක

සෞඛ්‍ය කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා අද (05) වෛද්‍ය සැපයීම් අංශයේ කටයුතු හදිසි නිරික්ෂණයට එක් විය .

මෙහිදි දැනට වෛද්‍ය සැපයුම්වල ප්‍රගතිය, අඛණ්ඩ ඖෂධ සැපයීම් වර්ධනය කර ගැනිම මෙන්ම සැපයුම්වල හිඟතාවයක් ඇති නොවන පරිදි කාර්යක්ෂම සේවාවක් ලබාදිම පිළිබදව අවධානය යොමු කර තිබෙයි.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ ගබඩාව ඇතුලු ප්‍රධාන අංශ කිහිපයක් ද නිරික්ෂණය කරන ලද අතර, එහි අළුත්වැඩියා කටයුතු කිහිපයක් පිළිබදව ද අවධානය යොමු කර ඇත.

වෛද්‍ය සැපයුම්වල ප්‍රගතිය ද සමාලෝචනය කරන ලද අතර,  සමස්ත සෞඛ්‍ය පද්ධතිය තුලම වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්තුමා ලබාගත් දත්ත ද සමාලෝචනය කරමින්  ඉදිරියේ දී හිඟතාවයකින් තොරව වෛද්‍ය සැපයුම්වල ඵලදායිතාව ඉහළ නැංවිම මෙන්ම  අඛණ්ඩ සැපයිම් වර්ධනය කර ගැනීම සදහා ඖෂධ ගබඩාව තුල මාස 03 කට ප්‍රමාණවත් ඖෂධ තොග පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබාදීමට ද කටයුතු කර ඇත.

එමෙන්ම වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂතුමා ඇතුලු නිලධාරින් මෙන්ම කාර්ය මණ්ඩලය සමග සුහඳව දීර්ඝ සාකච්ඡාවක ද නිරත වුන අතර, කාර්ය මණ්ඩලවල ගැටළු පිළිබදව ද අවධානය යොමු කරමින් සෞඛ්‍ය සේවාවේ වෛද්‍ය සැපයීම් යථාවත් කර ගැනීම සදහා ඔවුන් සිදු කරන මෙහෙය පිළිබදව කාර්ය මණ්ඩලවලට සිය ස්තූතිය සහ  සේවා ඇගයිමට ද ලක් කරන ලදි. සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වෛද්‍ය සැපයුම් අංශයේ සිදු කළ  හදිසි නිරික්ෂණය සහ සේවක ගැටළු පිළිබදව අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කිරීමත්, පවතින ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදීමට  අවධානය යොමු කිරිම පිළිබදවත් කාර්ය මණ්ඩලය මෙහිදී ප්‍රසාදය පළ කරන ලදි.

මෙම අවස්ථාවට වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුණු ඩයස්, නි‌යෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයුම්) ජී.විඡේසුරිය යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.