Thursday, July 04, 2024
Follow Us
නෞකාවේ නාවික හමුදාවේ ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක්

දෙවන ලෝක යුද සමයේදී ජපන් ගුවන් ප්‍රහාර හමුවේ මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනනහිර මුහුදේ ගිලී ඇති රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS Hermes’ නමැති ගුවන් යානා ප්‍රවාහන නෞකාව හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ විශේෂ ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් නාවික හමුදා කිමිදුම් අංශය මඟින් පසුගියදා (30) සාර්ථකව සිදු කෙරිණි.

ඒ සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා (විශ්‍රාමික) විසින් ‘HMS Hermes’ නෞකාව මුහුදුබත් වීමෙන් ජීවිතක්ෂයට පත් එම නෞකාවේ අණදෙන නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය සිහිපත් කරමින් පොපි මල් කළඹක් තබා ඔවුන් වෙත උපහාර පුද කෙරිණි.

දෙවන ලෝක යුද සමයේදී ජපන් ජාතිකයන් විසින් 1942 වර්ෂයේ අප්‍රේල් මස 05 වන දින කොළඹට බෝම්බ හෙලීමෙන් අනතුරුව, ත්‍රිකුණාමලය දකුණු මුහුදු ප්‍රදේශයේ තිබූ බ්‍රිතාන්‍යය රාජකීය නාවික හමුදාවට අයත් HMS Hermes සහ ඇයගේ පරිවාර නෞකාව ලෙස පැමිණි HMAS Vampire නෞකාවන් වෙත 1942 වර්ෂයේ අප්‍රේල් මස 09 වන දින ගුවනින් බෝම්බ හෙළා ගිල්වා ඇත.

මුහුදු මට්ටමේ සිට මීටර් 55 ක් පමණ ගැඹුරක ගිලී ඇති HMS Hermes නෞකාවේ සිදුකල මෙම ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසය, නාවික හමුදා කිමිදුම් අංශයේ ශිල්පීය හැකියාව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, කිමිදුම් විශේෂඥයෙකු වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත සංවිධානය කෙරුණු අතර, HMS Hermes නෞකාව හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාධිපතිවරයෙක් සහ හිටපු නාවික හමුදාධිපතිවරයෙක් එකවර ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් සිදුකල ප්‍රථම අවස්ථාව ලෙස සහ, එම නෞකාව මුහුදුබත් වීමෙන් ජීවිතක්ෂයට පත් රාජකීය නාවික හමුදා සාමාජිකයන් වෙත මෙලෙස උපහාර දැක්වූ ප්‍රථම අවස්ථාව ලෙසද මෙම කිමිදුම් අභ්‍යාසය සනිටුහන් විය.

තවද, මෙම නෞකාව ඇතුළු ඓතිහාසික වැදගත්කමක් ඇති නෞකා සහ සමුද්‍රීය අවශේෂ රැසක් ත්‍රීකුණාමලය වරායේ සහ ඒ අවට නැගෙනහිර මුහුදේ දියය‍ට ස්ථානගතව ඇත. නාවික හමුදාව මඟින් සංවිධානය කෙරෙන මෙවැනි ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාස මඟින් ත්‍රීකුණාමලය අවට මුහුදු තිරයේ කිමිදීම සඳහා කිමිදුම් සංචාරක ආකර්ෂණය ලබා ගැනීමටත්, එමඟින් දිවයිනේ කිමිදුම් සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීමටත් නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.