Tuesday, July 02, 2024
Follow Us
මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

මෝසම් වර්ෂාවත් සමග වතුර එකතු වන ස්ථාන වැඩිවී මදුරුවන් බෝවීම ඉහළ ගොස් ඩෙංගු රෝගය වාර්තාවීම වැඩිවී ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ පසුගියදා (26) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

අප්‍රේල් මාසයේ අවසන් සති 02 සිට මේ දක්වා ක්‍රම ක්‍රමයෙන් රෝගීන් වාර්තා වීම වැඩිවී ඇතැයිද, මේ වන විට මෙම වසර තුළ ඩෙංගු රෝගීන් 27,639ක් වාර්තා වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මෙම මස 25 වනදා දවස තුළ මුළු ලංකාවෙන්ම රෝගීන් 140ක් වාර්තා වුණු බවද, කොළඹ දිස්ත්‍රික්කය තුළ රෝගීන් 46ක් වාර්තා වුණු බවද සදහන් කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මැයි 25 වනදා ලංකාවෙන්ම වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 67ක් බවද, එදින කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11 දෙනෙකු පමණක් වාර්තා වුණු බවද සදහන් කළේය.

මෙම දත්ත සැලකිල්ලට ගැනීමේදී මසක් තුළ ඩෙංගු රෝගය වාර්තා වීමේ සාපේක්ෂ වැඩිවීමක් දක්නට ලැබෙන බව අවධාරණය කළ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ඉදිරියේදීත් මෙම ප්‍රමාණය වැඩිවීමේ අවධානමක් ඇති බවද පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවේදී සක්‍රීයව මැදිහත් වී මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීම මගින් ඩෙංගු රෝගීන් වාර්තාවීම හැකිතාක් අවම කරගත හැකි බවද එය විශාල ජයග්‍රහණයක් බවද පැවසුවේය.

මදුරුවන් බෝවන පරිශ්‍ර ලෙස නිවාස ඇතුලත සහ පිටත මෙන්ම පාසල් ආශ්‍රිතව, ආගමික ස්ථාන ආශ්‍රිතව මෙන්ම රාජකාරී ස්ථාන, පෞද්ගලික අධ්‍යාපන ආයතන, බස් නැවතුම්, දුම්රිය නැවතුම්, වෙළඳපොළවල් ආදී පොදු ස්ථාන හා ඉදිකිරීම් පරිශ්‍රද පෙන්වා දුන්නේය. නිවාස වලට සාපේක්ෂව ඉහතින් දැක්වූ අනෙත් පරිශ්‍ර වල ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි අවධානමක් ඇති බවද සඳහන් කළේය.

ඩෙංගු රෝගය වසංගත තත්ත්වයට පත්වීම වළක්වා ගැනීමට නම් නිවාස පිරිසිදු කිරීමට අමතරව ඉහත දැක්වූ සියලුම පරිශ්‍ර පිරිසිදුව තබාගැනීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය.

අවම වශයෙන් සතියකට එක දවසක් පැය කිහිපයක් පරිසරය පිරිසිදුව තබාගැනීම සඳහා වෙන් කිරීම තුළින් අවශ්‍ය ඉලක්ක වලට යා හැකි බවද, ඒ සඳහා සියලු දෙනාගේම දායකත්වය අපේක්ෂා කරන බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දුන්නේය.