Tuesday, July 02, 2024
Follow Us
මෙරටදී අතුරුදන් වූ ඊශ්‍රායල් තරුණියව සොයා ගත් මෙහෙයුම

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී පසුගිය බදාදා (26) අතුරුදන් වූ 25 හැවිරිදි ඊශ්‍රායල ජාතික තමාර් අමිතායි (Tamar Amitai)නමැති සංචාරක තරුණිය සොයා ගත් බව පොලිසිය පවසයි.

එම තරුණිය පසුගිය ජුනි 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තනිව සංචාරය කරමින් සිටියදී අතුරුදන් ඇති බවට පැමිණිල්ලක් ලැබුණු බව පොලීසිය පවසයි.

ඇය අන්තර්ජාලය හරහා වෙන්කරවාගත් ත්‍රිකුණාමලයේ රොලෙක්ස් ලැගුම්හලේ නවාතැන් ගෙන සිට ඇත. ඇය බදාදා (26) සිට නැවත ලැගුම්හල වෙත නොපැමිණි බවත් ලැගුම්හල් හිමිකාරිය පොලීසියට දැනුම්දී තිබේ.

ලැගුම්හලේ හිමිකාරිය විසින් උප්පුවේලි පොලිස් ස්ථානයට සිදුකළ පැමිණිල්ලක් මත උප්පුවේලි පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා පැවසුවේ, ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පොලීසිය, යුද හමුදාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, උප්පුවලි ප්‍ර‍ාදේශීය සභාව සහ නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකින් තමාර් අමිතායි සොයා ගත් බවයි.

නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශයේ සභාපති ඒ.පී මාතාන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කළ ආණ්ඩුකාරවරයා එහිදී අතුරුදන් වූ සංචාරක තරුණිය පිළිබඳව පැය තුනක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස බලධාරීන්ට උපදෙස් දුන්නේය.

කමිටුව පිහිටුවීමෙන් පසු අමිතායි ඇගේ හෝටලයේ සිට කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටි සල්ලිකෝවිල්හිදී සොයා ගෙන තිබුණි. ඇය එම ප්‍රදේශයට ගොස් සිටියදී සිහිසුන්ව ඇද වැටී ඇති නමුත් කිසිදු ශාරීරික හෝ ලිංගික අතවරයකින් තොරව මේ වන විට යහපත් තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.

Dinamina