Saturday, June 29, 2024
Follow Us
උරුමය සින්නක්කර ඔප්පු දෙන වැඩසටහන කඩාකප්පල් කරන නිලධාරීන්ගේ තොරතුරු ඉල්ලයි
  • තම උරුමය ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්න බැහැ- ජනපති.
  • උරුමය වැඩසටහන සාර්ථක කර ගැනීමට කැපවන රාජ්‍ය නිලධාරින්ට ජනපතිගෙන් පැසසුම්.
  • උරුමය වැඩසටහන සමඟ පක්ෂ බේදයෙන් තොරව එක්වන ලෙස ජනපති සියලු දේශපාලන නියෝජිතයන්ගෙන් ඉල්ලයි.

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් බොහෝ රාජ්‍ය නිලධාරින් කැපවී කටයුතු කරද්දි, එය කඩාප්පල් කිරීමට උත්සාහ කරන සුළුතරයක් පිළිබඳව ද කරුණු වාර්තා වී ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවන් නිලධාරීන් පිළිබඳ තොරතුරු තමන්ගේ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අතර, එම තොරතුරු තමා වෙත ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන බව ද සඳහන් කළේය.

තමන්ගේ උරුමය ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක සුදුසුකම්ලාභීන් 20,000ක් අතුරින් පුද්ගලයන් 1,758ක් වෙනුවෙන් සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය වෙනුවෙන් අද (25) පෙරවරුවේ අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.

මෙහිදී ජනාධිපතිවරයා සංකේත්තාමකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් විය.

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

අද ඔබ සියලුදෙනාටම සින්නකර ඉඩම් අයිතිය හිමි වෙනවා. මෙය ආරක්ෂා කරගෙන ඔබගේ දරුවන්ට ලබාදීම ඔබ සියලුදෙනාගේම වගකීමයි. මෙම වැඩසටහන ආරම්භ කරන විට මෙම ඉඩම් අයිතිය ලබා දෙන්නේ ඇයි කියලා ඇතැම් අය ප්‍රශ්න කළා. අපි ජනතාවට මෙම ඉඩම් අයිතිය ලබාදෙන්නේ සුදු ජාතිකයන් ඉඩම් අත්පත් කරගත් නීතියෙන්මයි. මෙය ඔබේ උරුමයයි. උරුමය සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් අප දිවයින පුරා ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එම කටයුතු සඳහා මිණුම් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල වැඩි කිරීමට ද මේ වන විට පියවරගෙන තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට රාජ්‍ය නිලධාරින් කැපවී කටයුතු කරනවා. බොහෝ පිරිසක් මීට සහාය ලබා දෙනවා. නමුත් ජනතාව බියට පත්කරන නිලධාරින් පිරිසක් පිළිබඳවත් තොරතුරු ලැබී තිබෙනවා. මේ ඉඩම් ආපසු රජයට පවර ගන්න පුළුවන්, ඒ නිසා සින්නකර ඔප්පුවක් ගන්නේ ඇයි කියා ඔවුන් ප්‍රශ්න කරන බව දැන ගන්නට ලැබී තිබෙනවා. නමුත් නැවත වරක් ඔබෙන් යම් නිලධාරියෙක් එවන් ප්‍රශ්න කිරීමක් සිදු කළහොත් එම නිලධාරින් පිළිබඳ තොරතුරු තමන්ගේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට දැනුම් දෙන්න කියා මම ඉල්ලනවා. එම නිලධරින් පිළිබඳ සොයා බලා මට කරුණු වාර්තා කරන්න කියා මම මන්ත්‍රීවරුන්ට ද දැනුම් දෙනවා.

එවන් ප්‍රකාශ සිදු කරමින් කඩාකප්පල්කාරීව හැසිරෙන නිලධාරින් සුළු පිරිස හොඳින් රාජකාරී කරන නිලධාරින්ගේ ගෞරවය ද නැති කරනවා. ඒකට ඉඩ දෙන්න බැහැ.

ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගොස් මෙම ඉඩම් ලැබීමට සුදුසුකම් ලබන අය පිළිබඳ තොරතුරු සොයා බලා අපට ලබාදෙන ලෙස මම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳ මම ආණ්ඩුකාරවරුන් ද දැනුවත් කර තිබෙනවා. එවිට ඔබ සියලුදෙනාට එක්ව මෙම වැඩපිළිවෙළ කාර්යක්ෂම කරගත හැකියි. ඒ නිසා මේ වැඩපිළිවෙළ වෙනුවෙන් සම්පුර්ණයෙන් කැපවන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.

මෙම ඉඩම් අයිතිය ලබාදීම පමණක් ප්‍රමාණවත් නැහැ. මෙම ඉඩම් හිමිකම් ලබන ගොවි ජනතාවගේ ආදායම් මාර්ග ද ඉහළ නැංවිය යුතුයි. එමගින් රටේ කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවිය හැකියි. ඒ සඳහා අප කෘෂි නවීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. එම වැඩසටහන හරහා සියලු බෝග වගාවන් වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම සිදු කෙරෙනවා. ඒ සමඟ ඊළග වසර 05 තුළ තම නිෂ්පාදන ඉහළ නංවා ගැනීමට ගොවි ජනතාවට අවශ්‍ය සහාය හිමි වෙනවා.

ඒ නිසා ඉදිරි මාස 02 තුළ ජනතාව වෙනුවෙන් මෙම ඉඩම් ඔප්පු සියල්ල ලබාදීමට පක්ෂ බේදයකින් තොරව මූලිකත්වය ගෙන කටයුතු කරන ලෙස මම මෙහි සිටින සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.