Saturday, September 28, 2024
Follow Us
සඳහිරු මහ සෑ පොසොන් කලාපයෙන් ආලෝකමත් වන අනුරාධපුරා පූජා නගරය

ඓතිහාසික අනුරාධපුර පුජා නගරයේ සඳහිරු මහා සෑය කේන්ද්‍ර කොටගෙන පවත්වනු ලබන සඳහිරු මහා සෑ පොසොන් කලාපයේ සමාරම්භක උත්සවය, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජුනි 21) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.

ඵෙතිහාසික මහින්දාගමනයත් සමඟ සදහම් පණිවිඩය ලක්දිවට හඳුන්වාදීම සනිටුහන් කෙරෙන පොසොන් පුර පසළොස්වක පොහොය ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයක් වන අතර, ඒ ඔස්සේ මෙරට සිදු වූ බෞද්ධ හෙළ සංස්‌කෘතික පුනරුදය සිහිකරනු වස් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයට සමගාමිව ආරක්‍ෂක අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මෙවරත් මෙම පොසොන් කලාපය සංවිධානය කරනු ලැබිය.
ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ගේ පූර්ණ දායකත්වයෙන් සිදුකරනු ලබන මෙම පොසොන් කලාපයට අයත් සඳහිරු මහා සෑය, වංකගිරිය සහ පොසොන් කූඩු 50කට අධික සංඛ්‍යාවකින් සමන්විත පොසොන් කලාපය සංකේතාත්මකව ආලෝකවත් කිරීමේ සමාරම්භක උත්සවය, ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, අනතුරුව එම පරිශ්‍රයේ ඉදිකර තිබෙන දර්ශනීය තොරණ ද ආලෝකමත් කරනු ලැබීය.

මනස්කාන්ත රටා මවමින් දැල්වුණු දර්ශනීය තොරණ සහ පහන් කූඩු වල ආලෝකයෙන් අලංකාර වූ සඳහිරු සෑය අවට පූජා භුමිය, ඊට සමගාමිව ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ පොසොන් බැති ගී හා සංස්කෘතික ප්‍රසංගයෙන් තව තවත් විචිත්‍රවත් විය.
එමෙන්ම, පොසොන් කලාපයේ අසිරිය විඳගැනීමට පැමිණෙන සැදැහැවතුන්ගේ සා පිපාසාවන් නිවාලීම සඳහා ඔසුපැන්හල් හා බත් දන්සැල් ද සංවිධානය කොට තිබිණ. දර්ශනීය පහන් කූඩු, තොරණ ආදී ආමිස පූජාවන් දැක, ප්‍රතිපත්ති පූජාවන්ට ද දායක වීමෙන් කුසල් උපදවා ගැනීමට සැදැහැවත් ජනතාවට මින් අවස්ථාව සැලසිණ.
එමෙන්ම “සුවපත් දැයකට වෙර වඩා උර දෙමු” යන තේමාව පෙරදැරිව සඳහිරු සෑය පුණ්‍ය භාර ගිණුම වෙත මුදල් බැර කල පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් මිලදී ගනු ලැබූ රුපියල් ලක්ෂ 33ක් පමණ වටිනා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් තඹුත්තේගම මූලික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකය වෙත පරිත්‍යාග කිරීම ආරක්‍ෂක ලේකම්වරයාගේ සහ එම රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් ජයකොඩි මහතාගේ සහභාගිත්වයෙන් සඳහිරු සෑය පුණ්‍ය භූමියේදී අද උදෑසන සිදු කෙරිණි. පොසොන් කලාපයේ පිහිටුවා ඇති පින් පෙට්ටි වලට මෙන්ම සඳහිරු සෑය පුණ්‍ය භාර ගිණුම වෙත පරිත්‍යාගශීලීන් විසින් බැර කෙරෙන මුදල් පූර්ණ වශයෙන් දුෂ්කර ප්‍රදේශ වල වකුගඩු සහ හෘද රෝග වලින් පීඩා විදින රෝගී ජනතාවගේ සුඛ විහරණය වෙනුවෙන් භාවිතා කරනු ලබන බව සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.


සඳහිරු මහා සෑ පොසොන් කලාපය එළඹෙන සඳුදා (ජුනි 24) දක්වා පැවැත්වීමට නියමිත අතර, ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගේ මැදිහත් වීමෙන් පුදබිම වෙත පැමිණෙන බැතිමතුන්ට ඔවුන්ගේ සුවපහසුව සඳහා සහය ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු සලසා ඇත.