Wednesday, June 26, 2024
Follow Us
දිගට ම ලෙඩ වන ගුරුවරුන් හැර දා දරුවන් වෙනත් දැනුම් මූලාශ්‍ර සොයා යනවා- අධ්‍යාපන ඇමැති

එක ම සටන් පාඨයක දිගින් දිගට එල්බගෙන ලෙඩ නිවාඩු දමමින් වෘත්තීය ක්‍රියාමාර්ගවල ගුරුවරුන් නිරත වී සිටියත් වත්මන් සිසු පරපුර ඒ මත රැඳී නොසිට අන්තර්ජාලය වැනි වෙනත් දැනුම් මූලාශ්‍ර වෙත අවතීර්ණ වෙමින් හා එමගින් සිය අධ්‍යාපන අවශ්‍යතා සපුරාගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා  පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ දී පැවැති  සමස්ත ලංකා  පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ පාසල් පෝස්ටර් චිත්‍ර තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිණි.මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් යන දැනුම් සමාජයේ නව ප්‍රවණතා පිළිබඳ යථා අවබෝධයකින් තොර ව සමාජයේ ඉදිරියට යා නොහැකි බවත් මේ බව ප්‍රධාන වශයෙන් ම ගුරුවරුන් හා වැඩිහිටියන් අවබෝධ කරගත යුතු ව ඇති බවත් ය.

සියලු‍ පාසල් ඩිජිටල්කරණය කර එක ම ජාලයකට ගතහොත් සමස්ත විෂය පාඩම් එක තැනක සිට දරුවන්ට ඉගැන්විය හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. එමෙන් ම දැනුම සොයා ගොස් යාවත්කාලීන කරගනිමින් සිසුන්ට අවශ්‍ය නව දැනුම ලබා දීමේ නිපුණතා ළඟා කරගැනීමට ගුරුවරුන් දක්ෂ ලෙස ක්‍රියාකාරී විය යුතු බවත් ඒ තත්වය මනා ව වටහා ගෙන දරුවන් වෙනුවෙන් වෙනස් වීමට සූදානම් විය යුතු බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී පැවසී ය.

 වෙනස් වන ලෝකය හා අධ්‍යාපන ක්‍රමවලට අනුව තමන් වෙනස් නොවී පරිසරය හෝ ලෝකය වෙනස් කරන්නට යෑම ඵල රහිත ක්‍රියාවක් බවත් මෙවැනි අවබෝධයකින් තොර අයෝග්‍ය ක්‍රියාමාර්ග ගනිමින් තව වසර කිහිපයකට වඩා ඉදිරියට යා නොහැකි බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.

  මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු, නෙස්ලේ ලංකා ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ බර්නාඩ් ස්‍ටැෆන්, නෙස්ලේ ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ( සාමූහික කටයුතු සහ සන්නිවේදන) රුවන් වැලිකල යන මහත්වරු එක්විය.