Sunday, June 23, 2024
Follow Us
ජුලි මාසයේ දී කරාපිටිය රෝහල මෙරට 03 වන ජාතික රෝහල බවට පත් කෙරේ

ජුලි මාසයේ දී ගාල්ල කරාපිටිය රෝහල ජාතික රෝහලක් බවට පත් කරන බවත්, මේ වසර අවසන් වන විට කොළඹ ඇස් වාට්ටු සංකීර්ණයත්, කොළඹ මහ රෝහලත් වසර 20 කට පසු සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරිමට කටයුතු කරන බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඇස් වාට්ටු සංකීර්ණයේ මීට වසර ගණනාවකට පෙර තිබුන ඔසුසලත් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බවයි .

අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින්, නිදන්ගත රෝග මෙන්ම සර්වාංග රෝග හදුනා ගැනීම, ප්‍රතිකාර ලබා දීම, ඉදිරි ප්‍රතිකාර සේවාවන් සදහා රජයේ රෝහල් වල සායන සදහා යොමු කිරිම, අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “සුවයට අරුණක්” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අද (15)  ඇල්පිටිය කහදූව පූරාණ මූල මහා විහාරස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ කෙරිණි. එහිදී ඔහු මේ බව සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායනය තුලින් ජංගම රසායනාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේධ මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පීඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය, වකුගඩු සායනය, බෝනොවන රෝග පිළිබද සායනය සහ චීන කටු චිකිත්සාව, සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ඇතුලු වෛද්‍ය සේවාවන් රැසක් සහ ඖෂධ නිකුත් කිරීම ද සිදු කෙරේ

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ පසුගිය දිනවල මෙම ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයට පසු රෝග පීඩා කටයුතු පිලිබද සොයා බලමින් අවශ්‍ය උපදෙස් ලබාදීමටත්, සෞඛ්‍ය සංරක්ෂණය ඇති කිරීමට මෙම ජංගම සෞඛ්‍ය සායනය ඉවහල් වන බවයි. මෙම ජංගම සායනය ගාල්ල දිස්ත්‍රික්කය පුරා ස්ථාන 15 ක පමණ මේ වන විට පත්වා තිබෙන බව ද පැවසීය.

කොළඹ ජාතික රෝහල, කොළඹ ජාතික අක්ෂි රෝහල මෙන්ම ගාල්ල කරාපිටිය රෝහල, බලපිටිය රෝහල ඇතුලු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවට අයත් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සායනයෙන් ප්‍රථිකාර සේවාවන් ලබාගැනීම සදහා ගංවතුරෙන් අවතැන් වූ ජනතාව ඇතුලු මිරස්වත්ත, අම්බන, රෑකඩහේන, මිනුවන්දෙණිය වැනි ග්‍රාම නිලධාරි වසම්වල විශාල ජනතාවක් අද පෙරවරුව වන විට සහභාගී වී සිටියහ.

මෙම අවස්ථාවට ඇල්පිටිය කහදූව පරම විසුද්ධාරාම පුරාණ මූල මහා විහාරාධිපති පූජ්‍යපාද කහදූවේ කෝලිත මහහිමිපාණන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය, දකුණු පළාත් සභාවේ හිටපු සභානායක, වත්මන් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ශමිලි විතානාරච්චි, ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් එස්. ගුණසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ