Thursday, February 12, 2026
Follow Us
දකුණු ආසියාවේ උසම කුලුනේ මහා පිරිත් දෙසුමක්

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුලුන ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සංවිධානය කෙරුණු මහා පිරිත් සජ්ඣායනා පුණ්‍ය ක්‍රියාව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම එක්ව වෙසක් උත්සවයට සමගාමීව රටට, ජාතියට සෙත් ප්‍රාර්ථනා කරමින් මෙම මහ පිරිත් දේශනය සජීවීව ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි.

කොල්ලුපිටිය වාලුකාරාම මහා විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති, මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශ්වයේ උපාධ්‍යාය, කොළඹ දිසාවේ සහ ඌව පළාතේ ප්‍රධාන සංඝනායක මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නය විසින් පරිත්‍රාණ ධර්ම දේශනාව සිදු කරන ලදි.

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා, නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමේ සභාපති යෝගා පෙරේරා මහතා, කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඇතුළු ආරාධිතයෝ මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.