Monday, May 20, 2024
Follow Us
නීති විරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” කිලෝග්රෑම් 1625 ක් අත්අඩංගුවට

මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව කැස්බෑව සහ බෙල්ලන්විල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් නීති විරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” තොගයක් අත්අඩංගුවට ගත්තේය. මධ්‍යම පරිසර අධිකාරියට ලද රහසිගත තොරතුරක් මත  පසුගියදා (08) මධ්‍යම රාත්‍රියේ මෙම වැටලීම සිදුකළ අතර වැටලීමෙන් කිලෝග්රෑම් 1625ක පමණ ප්‍රමාණයක නීති විරෝධී “පොලිතීන් ලන්ච් ෂීට්” තොගයක් සොයා ගැනීමට හැකි විය.

කැස්බෑව, කහපොළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක නීති විරෝධී “පොලිතීන් ලන්ච් ෂීට්” නිෂ්පාදනය කරමින් තිබියදී මෙම වැටලීම සිදුකළ අතර එහි දී කිලෝග්රෑම් 1500ක පමණ ප්‍රමාණයක නීති විරෝධී  “පොලිතීන් ලන්ච් ෂීට්” තොගයක් සොයාගැනීමට හැකි විය. මේ අතර බෙල්ලන්විල, පන්සල පාරේ ලොරි රථයක ගබඩාකර තිබුණු කිලෝග්රෑම් 125ක ප්‍රමාණයක නීති විරෝධී “පොලිතීන් ලන්ච් ෂීට්” තොගයක් ද වැටලීමේ දී සොයා ගැනීමට හැකි විය. පාරිභෝගික සේවා අධිකාරිය එම සියලු නීති විරෝධී “පොලිතීන් ලන්ච් ෂීට්” තොග අත්අඩංගුවට ගත්තේය. ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ කර්මාන්ත ශාලාවේ හිමිකරුට සහ ලොරි රථයේ හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරයි.

 

නීති විරෝධී “පොලිතීන් ලන්ච් ෂීට්”, නීතියෙන් තහනම් කර ඇති ග්රෑම් 20 හෝ මිලිලීටර් 20ට අඩු සැෂේ පැකට්, හුලං පුරවන ලද සෙල්ලම් බඩු, ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්ස්, මයික්‍රෝන 20ට අඩු පොලිතීන්, තනි භාවිත ප්ලාස්ටික් බීම බට සහ කලතන; තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි; ප්ලාස්ටික් මල් මාලා; ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි යන නිෂ්පාදන විකිණීම, ප්‍රදර්ශනය, නිෂ්පාදනය සහ භාවිතය ජාතික පාරිසරික පනත යටතේ නීතියෙන් තහනම් කර ඇති අතර මධ්‍යම පරිසර අධිකාරිය මේ සම්බන්ධයෙන් දිවයින පුරා අඛණ්ඩව වැටලීම් සිදුකරයි.