Wednesday, May 08, 2024
Follow Us
ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිහිපයක් ජනපතිට භාර දෙයි

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා සිදු කෙරුණු මූල්‍ය පරිත්‍යාග කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීම අද (26)  ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

කල්මුණේ හුදා ජුම්මා පල්ලිය රුපියල් 1,589,000/ක මුදලක් සහ සමස්ථ ලංකා ජමිඉයියතුල් උලමා කින්නියා ශාඛාව විසින් රුපියල් 5,300,000/-ක මුදලක් ද, කල්මුණේ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් 3,128,500ක මුදලක් ද, Sports First පදනම විසින් රුපියල් 300,000ක මුදලක් ද මෙලෙස ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ.

අමාත්‍යාංශ සහ රජයේ ආයතන මෙවර ඉෆ්තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින් මෙම අරමුදලට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පළමු අදියර යටතේ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාර දෙනු ලැබීය.

එසේම “Children of Gaza Fund” අරමුදලට දායක වන ලෙස මෙරට පරිත්‍යාගශීලි ජනතාවගෙන් ජනාධිපති කාර්යාලය සිදු කළ ඉල්ලීම පරිදි විශාල මුදලක් මේ වන විට අරමුදල වෙත ලැබී ඇති අතර එම මුදල් ද ඉදිරියේ දී පලස්තීන රජය වෙත නිල වශයෙන් භාර දීමට නියමිතය.

2024 අප්‍රේල් 30 දක්වා පමණක් පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල වෙත තවදුරටත් දායක වීමට අවස්ථාව සලසා දී තිබෙන අතර ඒ සඳහා දායකවීමට කැමති පරිත්‍යාගශීලීන් වේ නම්, එම පරිත්‍යාගයන් අප්‍රේල් මස 30 වනදාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ රිසිට්පත 077-9730396 වෙත WhatsApp මඟින් යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී සිටි.

අද චෙක් පත් පිළිගැන්වීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, එච්.එම්.එම්. හරීස් යන මහත්වරු සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා ද එක්ව සිටියහ.