Monday, May 06, 2024
Follow Us
වැඩිහිටි ප්‍රජාවට බදු සහන සැලසීමට විධිමත් වැඩපිළිවෙළක්

රඳවා ගැනීමේ බද්දෙන් අපහසුවට පත්ව සිටින වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් යටතේ සහන සැලසීමට විශේෂ අවධානය යොමු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.


මෙරට වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් අය කෙරෙන බැංකු පොලී අනුපාත සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී නැගූ පැනයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.


රුපියල් ලක්ෂයට වඩා මාසික පොලිය අඩු පිරිසගෙන් රඳවා ගන්නා පොලිය වහාම ඉවත් කිරීම වෙනුවෙන් දැනට රජයේ මුදල් ප්‍රවාහ අනුව විධිමත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


මේ වන විටත් අදාළ ප්‍රතිපූර්ණ කටයුතු සඳහා බිලියන හතළිහකට ආසන්න මුදලක් වර්ෂයකට යෙදවිය යුතුව පවතින බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, පසුගිය කාලයේ 16% ක් ව තිබුණු ණය පොලී අනුපාතය 9% තෙක් අඩු කර ඇති බවත් මෙරට වැඩිහිටි ප්‍රජාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ පැහැදිලි අවබෝධයක් පවතින බවත් සැලසුම් සහගත නොවී ක්ෂණික විසඳුම් ලබාදීම වෙනුවට පවතින මුදල් ප්‍රවාහ අනුව විධිමත් වැඩපිළිවෙළක් යටතේ මේ සඳහා ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.