Saturday, May 04, 2024
Follow Us
කුරුණෑගල ශික්ෂණ රෝහලේ පස්මහල් වාට්ටු සංකීර්ණය සුව සේවාවට එක් කෙරේ

දිවංගත  අයිලීන් ද මෙල් මහත්මියගේ ඉල්ලීම පරිදි දිවංගත ආර්.එච් ද මෙල් මහතා සිහිවීම පිණිස එම දෙපලගේ ධන පරිත්‍යාගයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල් පරීශ්‍රයේ ඉදිකරන ලද ආර්.එච් ද මෙල් අනුස්මරණ වාට්ටු සංකීර්ණය සුව සත්කාර සේවා සඳහා එක් කිරීම ඊයේ (10) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නීතීඥ මෙත්සිරි පරණවිතාන මහතාගේ මග පෙන්වීම යටතේ ඉදිකරන ලද පස්මහල් මෙම වාට්ටු සංකීර්ණයේ දෙවන අදියර ලෙස ඉදිකරන ලද තෙවන, සිව්වන හා පස්වන මහල් ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 567 කි. මෙම වාට්ටු සංකීර්ණය විකලාංග ශල්‍ය ‌වෛද්‍ය වාට්ටු හා දැඩි සත්කාර ඒකකයකින් සමන්විත වේ. දැඩි සත්කාර ඒකකය ඇදන් 11 කින් සමන්විත වන අතර විකාලාංග ශල්‍ය වෛද්‍ය වාට්ට වල ඇදන් ධාරිතාවය ඇදන් 60 කට අධික වේ.

කුරුණෑගල මහ රෝහල 2016 වර්ෂයේ දී ශික්ෂණ රෝහලක් බවට පත් කර ඇති අතර රෝහලේ සමස්ත ඇදන් ධාරිතාවය 2493 ක් වන අතර රෝහලේ සේවය කරන සමස්ත කාර්ය මණ්ඩලය 3646 කට අධික වේ. 

රෝහල තුළ වාර්ෂිකව ශල්‍යකර්ම 16,000 කට අධිකව සිදු කරනු ලබයි. 2023 වර්ෂයේ දී, බාහිර රෝගී අංශයෙන් 521,255 අධික රෝගීන් ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර නේවාසිකව ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව 187,617 අධික වේ.

රෝහලතුළ ඒකක 158 ක් ක්‍රියාත්මක වන අතර ශල්‍යාගාර 6 ක්, දැඩිසත්කාර ඒකක 7 ක්, වාට්ටු 68 කින් ද සමන්විත වේ. 

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ පසුගිය මාසයක කාලය තුළදී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිත්‍යාගයන් රැසක් ‌සෞඛ්‍ය සේවවාට එක් කිරීමේ අවස්ථාවන්ට තමන් සහභාගී වු බවයි. තමන් හට තිබු සියලු රාජකාරි අවශ්‍යතාවයන් සියල්ල පසෙකලා මෙම අවස්ථාවට සහභාගී වුයේ එම පරිත්‍යාගය සිදු කළ අයට වටිනාකමක් ලබාදීමට හා ඒ වෙනුවෙන් විශේෂ ස්තුතියක් සිදු කිරීමට බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය පද්ධතිය අතිවිශිෂ්ට මානව සම්පතකින්ද, විශිෂ්ට භෞතික  සම්පත් පද්ධතියිකින් ද සමන්විත බව කී අමාත්‍යවරයා මෙරට මාතෘ හා දරුවන් ගේ සෞඛ්‍ය  සංරක්ෂණය වෙනුවෙන්  විශේෂ අවධානයක් යොමු කර කටයුතු සිදු කළ බවත් ඉදිරියටත් එම සේවාව විශිෂ්ට අන්දමින් පවත්වා ගෙන යන බව ද පැවසීය.