Friday, May 03, 2024
Follow Us
රාමසාන් උත්සවය වෙනුවෙන්  විශේෂ ආරක්ෂක  වැඩපිළිවෙළක්

රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් ආගමික  දේවස්ථානයන්හි පැවැත්වෙන ආගමික කටයුතු සඳහා සහභාගි වන බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිස්පති විසින් සියලු ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්,  දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා ප්‍රාදේශීය කොට්ඨාසභාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව,  රාමසාන් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට  නියමිත ආගමික හා අනෙකුත් වැඩසටහන් සම්බන්ධයෙන් එම දේවස්ථාන පිහිටි ප්‍රෙද්ශවලට අයත් පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් දේවස්ථාන වෙත ගොස් පූජකතුමන්ලා හා භාරකාර මණ්ඩල ප්‍රධානීන් හමුවී සාකච්ඡා කර අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට  කටයුතු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 

මේ අතර රාමසාන් දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධරයන් 5500 ක් , පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 500 ක් හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 1200 කට අධික නිලධාරීන් පිරිසක් රාජකාරී සඳහා යොදවා ඇති බව ද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි .