Saturday, May 04, 2024
Follow Us
රාමසාන් දිනය වෙනුවෙන් ජනපතිගෙන් සුභාශිංසන

ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙත ද, අනුන් වෙත ද යහපත උදාකර දීමේ අරමුණ ඇතිවය. ආදියේ සිට පැවත එන මේ සද් සිරිත අනුගමනය කිරීමෙන් ජීවිතය දැහැමි කරගත හැකි බව ශුද්ධ වූ කුරාණයේ පෙන්වා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාමසාන් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

"උපවාස සමයෙන් පසු මෙවර ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් භක්තිකයන් රාමසාන් සමරනුයේ පොදුවේ අපේ රට වඩාත් යහපත් මට්ටමක් කරා එළැඹෙමින් පවතින අවධියකය. ගෙවුණු දුෂ්කර කාලසීමන්හි දී පවා, ඔවුහු ආගමානුකූලව උපවාසයේ යෙදෙමින් තමන්ටත්, සමාජයටත් යහපත ප්‍රාර්ථනා කළහ.

පරිත්‍යාගය, ආත්ම දමනය සහ ඉවසීම ප්‍රධානව රාමසාන් සමය තුළ ඉස්මතු කෙරෙන හර පද්ධතීන් අගයමින් ශ්‍රී ලාංකේය මෙන්ම සමස්ත ලෝකවාසී සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිඳියාව සහ යහපත සෑදෙන ප්‍රීතිමත් රාමසාන් උත්සවයක් වේවා යැයි සුභාශිංසන පිරිනමමි."