Friday, May 03, 2024
Follow Us
ඩෙංගු රෝගීන් සහ මරණ ප්‍රතිශතය අඩුවක්

වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය.

මෙම වසරේ ජනවාරි මාසය වන විට ඩෙංගු අවධානම් කලාප 64ක් හඳුනාගෙන තිබුණ ද එය අද වන විට කලාප දෙකක් දක්වා පාලනය කර ගැනීමට හැකි වූ බව ද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය මෙසේද සඳහන් කළාය,

උත්සව සමයේ දී අනාරක්ෂිත ආකාරයට ගිනිකෙළි භාවිතය හේතුවෙන් සෑම වසරකදීම අනතුරු වාර්තා වුණා. ඒ නිසා මෙවර අලුත් අවුරුදු සමයේ දී පවුලේ සාමාජිකයන් සමඟ ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

ඒ වගේම ඉකුත් සමයේ ඩෙංගු ව්‍යාප්තිය පලනය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන විවිධ ප්‍රචාරයන් සිදු කෙරුණා. ඒ සඳහා සෞඛ්‍ය අංශ සහ මාධ්‍ය ආයතන දැක්වූ දායකත්වය පිළිබද ස්තුති කළ යුතුයි. සැබැවින්ම පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට අපට හැකි වුණා.

ජනවාරි මාසයේ ඩෙංගු අවධානම් කලාප 64ක් පැවතුණා. එය අද වන විට කලාප දෙකක් දක්වා පාලනය කර ගැනීමට හැකි වී තිබෙනවා. ජනවාරි මාසය වන විට රෝගීන් දහස ඉක්මවා වාර්තා වුණා. එය අද වන විට රෝගීන් වාර්තා වන ප්‍රමාණය 200 දක්වා අඩු වී තිබෙනවා. ඒ සඳහා දේශගුණික තත්ත්වයන් ද බලපෑ බව පැවසිය යුතුයි.

ජනවාරි මාසයේ සිට වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 20,365ක් වාර්තා වුණා. ඉන් 7289ක් වාර්තා වුණේ බස්නාහිර පළාතෙන් බව ද සඳහන් කළ යුතුයි. 2024 වර්ෂය තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 08ක් පමණයි.

එමෙන්ම ඉදිරි කාලයේදී ඇතිවිය හැකි වසංගත තත්ත්වයන් මර්දනය කිරීම සඳහා ඉතාමත් ක්‍රියාශීලි වැඩපිළිවෙලක් මේ දිනවල ක්‍රියාත්මක වනවා. වසංගත තත්ත්වයන්ගෙන් මිදීම සඳහා එය බෙහෙවින්ම උපකාරී වන බව පැවසිය යුතුයි.