Saturday, July 27, 2024
Follow Us
ජේතවනාරාම ස්තූපයේ පිපිරුම් වැළැක්වීම සඳහා තාක්ෂණික පිළියම්

අනුරාධපුර ජේතවනාරාම ස්තූපයේ ඇති වී තිබෙන පිපිරුම් ප්‍රසාරණය වීම මැඩපැවැත්වීම සඳහා කෙටි හා දීර්ඝ කාලීන විසඳුම් මේ වන විට ගෙන ඇති බවත්, පිපිරුම් තවදුරටත් වර්ධනය නොවන ආකාරයට  සිදු කළ හැකි තාක්ෂණික ක්‍රමවේදයන් ඉදිරියටත් අනුගමනය කර පිපිරුම් පාලනය කිරීමට කටයුතු සිදු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ජේතවනාරාම ස්තූපයේ පිපිරුම්වල වර්තමාන තත්ත්වය පිළිබඳව ජේතවනාරාම ස්තූපයේ සලපතල මළුවේ ඊයේ (02) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා මෙහිදී සඳහන් කළේ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සකස් කළ වාර්තාවලට අනුව ස්තූපයේ පෙර පැවති පිපිරුම්වල අගයන් හා සැසදීමේදී විශාල වෙනසක් සිදු වී නොමැති බවයි

ස්තූපය පිළිබඳ නිරීක්ෂණ කටයුතු සංස්කෘතික අමාත්‍යංශය ,මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අත්හැර නොමැති බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය. 

2023 වසරේ සිට මේ දක්වා කාලය තුළදී  පිපිරුම් වර්ධනය  මීටර් දශම දෙකක් වන අතර මේ වන විට පිපිරුම් ප්‍රසාරණය වීම නැවතීමට ලක් වී ඇති බවත්, 2016 සිට 2020 දක්වා මීටර් 12 ක් හා 2020 සිට 2023 දක්වා මීටර් 9 ක පැල්මේ වර්ධනයක් සිදු වී ඇති බවත්, ස්තූපයේ නිරීක්ෂණය සඳහා පත් කළ විද්වත් කමිටු සාමාජික පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කුෂාන් විජේසුන්දර මහතා මෙහිදී  පැහැදිලි කළේය.

ස්තූපය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් 2016 සිට මේ වන තෙක් කෙටිකාලීන පියවර ලෙස දාගැබේ සියලුම පිපිරුම්වල බදාමයක් යොදා සීල් කර ඇති අතර,   පිපිරුම් ප්‍රසාරණය වීම පාලනය කිරීමට ගතයුතු දිගුකාලීන පිළියම් යොදා ඇති බවත්, එහිදී  ගර්භය තුළට ජලය කාන්දු වීමේ වේගය අඩාල කිරීම කළයුතු බවත් විද්වත් කමිටු සාමාජික පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කේ.ඩී. සමිත් බුද්ධික මහතා සඳහන් කළේය.

එසේම ඉදිරියට පැමිණෙන වර්ෂා කාලය සහ වර්ෂාව නොමැති කාලය තුළ දී ලබාගන්නා දත්තවලට අනුව මෙම ස්වභාවය වෙනස් විය හැකි බව ද සමිත් බුද්ධික මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම විද්වත් කමිටුව ශ්‍රී ලාංකේය පිරිසකගෙන් සැඳුම් ලත් කමිටුවක් වන අතර ඔවුහු ස්වේච්ඡාවෙන් ස්තූපයේ පරීක්ෂණ කටයුතු සිදු කරති