Friday, May 03, 2024
Follow Us
දේශිය ඉංජිනේරුවන්ගේ උපදේශන සේවය ලබා  ගැනීම වැදගත්

රජයේ  සංවර්ධන  ව්‍යාපෘති සඳහා  විදේශීය ඉංජිනේරුවන් ගේ විශේෂඥ   උපදේශන  සේවය  වෙනුවට  දේශිය  ඉංජිනේරුවන්ගේ විශේෂඥ  උපදේශන සේවය ලබා  ගැනීම   වැදගත් බව  වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ   ඊයේ  (28)  බත්තරමුල්ල  සුහුරුපාය   ශ්‍රවණාගාරයේ දී පැවැති "රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ" 43 වන  වාර්ෂික සම්මේලනය ට සහභාගි වෙමිනි.

විදේශීය  ඉංජිනේරුවන්ට, නොදෙවෙනි ලෙස කුසලතා සහිත  ඉංජිනේරුවන් අප  රටේ  සිටින බවත්,  එසේ සිටිය දී අත්‍යවශ්‍ය  තත්ත්වයක්  හැරෙන්නට  විදේශ  ඉංජිනේරුවන් ගේ විශේෂඥ  සේවය ලබාගැනීම වැදගත්  නොමැති බවත්  පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  ප්‍රකාශ කළා ය.

එහිදී  වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය.

" ලෝකයේ බොහෝ රටවල් විදේශ  ණය  ලබා ගෙන   සංවර්ධන ව්‍යාපෘති  දියත් කරනවා. අපිත් එහෙමයි. ඇතැම්    ණය  දෙන  ආයතන   කොන්දේසි පනවනවා,  ඒ සංවර්ධන ව්‍යාපෘතිවලට    විදේශ  උපදේශකයන් ගේ සේවය ලබා ගන්න කියල, ණය  ගන්නෙ අපි, ණය  ගෙවන්නෙත් අපි,  ඒ නිසා   විශාල මුදල් ගෙවා  අපට  විදේශ ඉංජිනේරුවන්ගේ  විශේෂඥ   උපදෙස්  අවශ්‍ය නැහැ. අපේ රටේ දක්ෂ ඉංජිනේරුවො ඉන්නවා.  ඔවුන්ගේ සේවය  අපේ රටට  ලබා ගන්න පුළුවන්. 

මම  වාරිමාර්ග අමාත්‍යාංශය භාර ගත්තට පස්සෙ ණය  දෙන  විදේශ  ආයතන   සමඟ  තිබුණ සාකච්ඡාවලදී අපට  විදේශ ඉංජිනේරුවන් ගේ  විශේෂඥ උපදේශන අවශ්‍ය  නොමැති බව  පෙන්වා දුන්නා.    වර්තමානයේ අප මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ  ඉංජිනේරුවන් රට හැර යාම වර්ධනය වී තිබෙනවා,    ඊට  හේතුවී ඇත්තේ සිය   වෘත්තීය ගරුත්වයට සහ ජීවන තත්ත්වයට සරිලන  ප්‍රමාණවත් වැටුපක්  නොලැබීම  සහ  කළමනාකරණ ක්‍රියාවලිය  තුළ  ඔවුන්ගේ  උසස් වීම් අහිමි කර තිබීමයි. රාජ්‍ය ඉංජිනේරු සේවාව තුළ පවතින  තනතුරු 1520 කින් තනතුරු 376 ක් මේවන විට පුරප්පාඩු වී තිබෙනවා, ඉංජිනේරුවන් විදේශගත වීම ගැටලුව ක්, මෙම තත්ත්වය  කඩිනමින්  මඟ හරවා ගැනීම සඳහා  ජනාධිපතිතුමා ඇතුළු  රජය, සහ  විශේෂයෙන්  අමාත්‍ය  මණ්ඩලය   දැනුවත්  කර  ඊට  අවශ්‍ය  කඩිනම්  ක්‍රියාමාර්ග   ගැනීමට  පියවර ගන්න මම බලාපොරොත්තු වෙනවා, 

වර්තමානයේ  වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින වාරිමාර්ග දෙපාර්තමේන්තුව,  මහවැලි අධිකාරිය  යන ආයතන  මෑත යුගයේ  විශාල  සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම හරහා  වාරි පෝෂිත කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයා  දී තිබෙනවා,  එම  ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ලබන  බහුතර ගොවි ජනතාව  යොමු වී සිටින්නේ  ගොවිතැන සඳහා පමණයි.   මේ තත්ත්වය වෙනස් විය යුතුයි, අපනයනය පදනම් ක‍රගත්, වානිජ කෘෂිකර්මාන්තය  සඳහා  ගොවි ජනතාව යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක්,   ඒ තුළින් රටට අවශ්‍ය ආහාර  රට තුළ  නිෂ්පාදනය  කර  විදේශයන්ට ඇදී යන  විශාල මුදලක් රට තුළ ඉතිරි කර ගත හැකියි"යැයි ද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය   මෙහිදි කියා සිටියාය.