Tuesday, May 07, 2024
Follow Us
අවුරුදු 14 ට වැඩි 16 ට අඩු දැරියන්ට අතවර කරන පුද්ගලයින් සම්බන්ධව ගෙන ආ නව නීතියේ අලුත්ම තත්ත්වය

වයස අවුරුදු 14 ට වැඩි 16 ට අඩු දැරියන්ට අතවර කරන පුද්ගලයින් සම්බන්ධව ගෙන ආ නව නීතිය ඉවත් කර ගැනීමට උපදෙස් දුන් බවත් එය පාර්ලිමෙන්තුවෙන් ද ඉල්ලා අස්කර ගන්නා බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පළ කලේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2024/2025 නීතිඥ සභා රැස්වීම සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 50 වන සංවත්සරය වෙනුවෙන් ඊයේ(23) තලවතුගොඩ Monach Imperial හෝටලයේ පැවති උත්සවයකට එක්වීමෙන් පසුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබාදෙමින් තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.

දණ්ඩ නීති සංග්‍රහයේ පවතින විධි විධාන අනුව වයස අවුරුදු 16 කට අඩු දැරිවියකට ලිංගික හිංසනයක් කිරීම හෝ කායික සබදතාවයක් පවත්වා ගනු ලබන තැනැත්තෙකුට එරෙහිව ලබාදිය යුතු අවම අනිවාර්ය දඩුවම් ප්‍රමාණයක් පවතිනවා. බොහෝ අවස්ථාවලදී අවුරුදු 14 ට වැඩි අවුරුදු 16ට අඩු දැරිවියන් ඒ අය ආදර සම්බන්ධතා පවත්වා ගෙන යනු ලබන අය සමග මෙවැනි තත්වයන්ට මුහුණ දී ඇති බවට වන වාර්තා හේතුවෙන් වසර තුනක් හතරක් පමණ අධ්‍යනය කරලා අධිකරණ අමාත්‍යාංශයට නිර්දේශයක් ඉදිරිපත් කර තිබුණා දණ්ඩ නීති සංග්‍රහයේ දඩුවම් ලබාදීමේ ක්‍රමවේදය යම් කිසි ආකාරයකට සංශෝධනය කරලා අභිමතය පරිදි පවතින තත්වය අනුව සුදුසු දඩුවමක් නියම කරන්න විනිසුරුවරයාට අවස්ථාව දෙන්න කියලා. නමුත් මෙම පනත ඉදිරිපත් කිරීමෙන් පසුව සමාජයේ බොහෝ සිවිල් ක්‍රියාකාරීන් කාන්තා සංවිධාන මෙම පනත සම්මත කිරීම අත්හිටුවන ලෙස මගෙන් ඉල්ලීමක් කළා.ඒ අනුව මෙම පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කළ අවස්ථාවේ නීතිපතිවරයාට උපදෙස් ලබා දුන්නා මේ පනත ඉදිරියට ගෙන යන්නේ නැහැ කියලා. ඒ අනුව අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. සාකච්ඡා කිරීමෙන් පසුව කරනු ලබන සංශෝධන කුමන ආකාරද යන්න පිළිබදව තීරණයක් ගත හැකියි.

ඉදිරිපත් කළ පනත් කෙටුම්පත ඉදිරියට ගෙන යන්නේ නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. එය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරනවා.

මේ පනත ඉදිරිපත් කලේ මා විසින් කරනු ලැබු අධ්‍යනයකට අනුව නෙවෙයි. විනිසුරුවරුන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම පනත ඉදිරිපත් කළා එය තවදුරටත් සාකච්ඡා කරනවා. ඉදිරියේ තවත් පනත් 60 ක් පමණ ගෙන එනවා. ඒ සෑම පනතක්ම ගෙන එනු ලබන්නේ නීතිපතිවරයාට ඉදිරිපත් කර ව්‍යවස්ථානුකූලභාවය තහවුරු කිරීමෙන් පසුවයි.

මේ සියලු පනත් ගෙන එනු ලබන්නේ මහ ජනතාව වෙනුවෙන් මිසක් දේශපාලඥයින් වෙනුවෙන් නෙවෙයි. වසර 150 කට වඩා පැරණි අණ පනත් අපි යාවත්කාලීන කළා. මේවා සංශෝධනය විය යුතුව තිබුණේ මීට වසර තිහකට හතලිහකට පමණ පෙරයි. නමුත් එය සිදු කර තිබුණේ නැහැ. ඒ අනුව අපි ඒ කටයුතු කරමින් පවතිනවා. පසුගිය මාස 18 කාලය තුළ පනත් 40 කට වඩා සංශෝධනය කළ බව ද අමාත්‍යතුමා සදහන් කළේය.