Tuesday, May 07, 2024
Follow Us
අත්අඩංගුවට ගත් නීතිවිරෝධී ලන්ච්ෂීට් කිලෝග්රෑම් 5377ක් විනාශ කෙරේ

මධ්‍යම පරිසර අධිකාරිය , පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව සිදුකළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් නීතිවිරෝධී පොලිතීන් ලන්ච්ෂීට් කිලෝග්රෑම් 5377ක්  විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය  පසුගියදා   (19) කටයුතු කළේය.

නීතිවිරෝධී පොලිතීන් ලන්ච්ෂීට් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය පැවරූ නඩු දොළහකට(12) අයත්, නඩුභාණ්ඩ ලෙස ගබඩාකර තිබූ නීතිවිරෝධී පොලිතීන් ලන්ච්ෂීට් මෙලෙස විනශ කිරීමට කටයුතු කෙරිණ. බස්නාහිර පළාත සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට අදාළව සිදුකළ මෙම නඩු පැවරීම් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය, කොළොන්නාව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය, ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය සහ කුරුණෑග, මහේස්ත්‍රාත් අධිකරණය යන මහේස්ත්‍රාත් අධිකරණ වලදී විභාග කර ඇත.

නඩු විභාග කරන තෙක් මධ්‍යම පරිසර අධිකාරියට අයත් දොම්පේ සනීපාරක්ෂක කසළ රදවනයේ මුද්‍රාතබා නඩු භාණ්ඩ ලෙස තැම්පත් කර තැබූ මෙම ලන්ච් ෂීට් තොගය  මධ්‍යම පරිසර අධිකාරියේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිමෙන්ති උඳුනක් තුළ අධික උෂ්නත්වයේ දී දහනයට ලක් කොට පරිසර හිතකාමී ලෙස විනාශ කළේය.  ඉන්සි ඉකෝ සයිකල් ලංකා පුද්ගලික සමාගම මෙම කටයුතු සඳහා මුදල් අයකිරීමකින් තොරව දායකත්වය සපයා ඇත.  

පරිසර සංරක්ෂණය උදෙසා පනවා ඇති නීති රෙගුලාසි නිසි ලෙස පිළිපදිමින් පරිසරය සුරැකීම සියලුදෙනාගේ වගකීමක් කොට සලකා පරිසර සුරක්ෂිතාව ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටී.