Tuesday, May 07, 2024
Follow Us
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් හැට දෙනෙකු සඳහා රන් සම්මාන පිරිනැමේ 

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් ඇඟයීමේ “Golden Inmediens - 2023” ව්‍යවසායකත්ව රන් සම්මාන උළෙල  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා   හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි ඇතුළු මැති ඇමතිවරුන්ගේ  ප්‍රධානත්වයෙන් ඊයේ (19)  බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි දී පැවැත්විණි. 

මෙහිදී  දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය තුළ රෝගී සත්කාර සේවා පවත්වාගෙන යමින් ජාතික සෞඛ්‍ය සේවාවට සුවිශාල දායකත්වයක් දක්වමින් සංචාරක ක්ෂේත්‍රය තුළින් දේශීය ආර්ථිකය සවිමත් කිරීමට දායක වූ ව්‍යවසායකයින් ඇතුළු අධ්‍යාපන, ප්‍රතිකාර, ඖෂධ, නිෂ්පාදන, සේවා යන අංශයන් නියෝජනය කරමින් එම ක්ෂේත්‍රයේ  විශිෂ්ටතමයින් 60 දෙනෙකු සඳහා සම්මාන ප්‍රදානය කිරීම සිදුකෙරිණි. 

මෙහිදී අදහස් දක්වමින්  සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ   බටහිර වෛද්‍ය විද්‍යාවේ සියලු නිෂ්පාදන සායනික පරීක්ෂණ හරහා ලෝකයේ පිළිගැනිමට ලක්වනවා සේ ආයුර්වේද නිෂ්පාදන ද  සායනික පරීක්ෂණ හරහා ලොවට තිළිණ කිරීම පිළිබදව අවධානය යොමු කළ යුතු බවයි.

වර්තමානයේ අපට තිබෙන ප්‍රධාන අභීයෝග දෙකක් වන්නේ විශිෂ්ට වෛද්‍යකර්මවලින් රෝගීන් ලබන සහනය බටහිර ‌වෛද්‍ය විද්‍යාව සමග එ‍කතු කර සංකලනයක් ලෙස රෝගීන්ට සහන සළසන්නේ කෙසේ ද යන්න සහ ආයුර්වේද නිෂ්පාදන විද්‍යාත්මකව ලොවට තිළිණ කරන්නේ කෙසේ ද යන්න බවත් පැහැදිලි කළ අමාත්‍යවරයා වෛද්‍ය විද්‍යාවේ සියලු නිෂ්පාදන ලෝකයේ පිළිගැනීමට ලක්වන්නේ සායනික පරීක්ෂණවලින් අනතුරුව බවත්, ආයුර්වේද නිෂ්පාදන සායනික පරීක්ෂණ හරහා විද්‍යාත්මක දත්ත අනුව ලොවට තිළිණ කිරීමට හැකි නම් ආයුර්වේද නිෂ්පාදනවලට යා හැකි දුර බොහෝ බව ද පැවැසිය.  එය සෑම කෙනෙකුගේම අවධානය යොමු විය යුතු කරුණක් බව ද  අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

2022 වසරේ දී ශ්‍රී ලංකාවේ අපනයන අගය ඉතිහාසයේ වැඩිම අගයකට ළඟා වෙමින් ඩොලර් බිලියන 13 පසු කළ බවත්, එම කාලසීමාවේ දී මෙරට ආයුර්වේද නිෂ්පාදන ද වැඩිපුර අපනයනය වි ඇති බව ද ආයුර්‌වේද  නිෂ්පාදන භාවිත කරමින් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ට ප්‍රවර්ධනයක් ඇති වී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. 

දේශිය වෛද්‍ය ක්ෂේත්‍රය කර්මාන්තයක් ලෙස ඔසවා තැබිමට උත්සහ කරමින් සිටින බවත්, මෙරට ආරථිකයට සුවිශාල දායකත්වයක් දේශිය වෛද්‍ය ක්ෂේත්‍රය තුළින් සැපයිය හැකි බව ප්‍රත්‍යක්ෂ කරගත් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා ද  මෙහිදී පැවැසිය.  2022 වසරේ දී ශ්‍රී ලංකාවේ අපනයන අගය ඉතිහාසයේ වැඩිම අගයකට ලගා වෙමින් ඩොලර් බිලියන 13 පසු කළ බවත්, එම කාලසීමාවේ දී මෙරට ආයුර්වේද නිෂ්පාදන ද වැඩිපුර අපනයනය වි ඇති බව ද පැවසු රාජ්‍ය අමාත්‍යවරයා ආයුර්‌වේද  නිෂ්පාදන භාවිත කරමින් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ට ප්‍රවර්ධනයක් ඇති වී ඇති බව ද පැවසීය‍. 

ඩොලර් බිලියන 25 කට අධික වාර්ෂික වෙළෙදපොළක් දේශිය වෛද්‍ය ක්ෂේත්‍රයට තිබෙන බවත්, කොවිඩ් වසංගතයෙන් පසු මුළු ලෝකයම ස්වභාව ධර්මයත්, ශාකසාර කෙරෙහිත් යොමුව පවතින බැවින් විකල්ප වෛද්‍ය ක්‍රම සහ ස්වභාවික වෛද්‍ය ක්‍රම පිළිබදව ලෝකයම උනන්දුවෙන් පවතින බව ද  රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසීය. එබැවින් මෙරට දේශිය වෛද්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තරය කරා ගෙනයාමටත්, කර්මාන්තයක් බවට පර්වර්තය කිරිමටත් දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස දේශිය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන්, අපනයනකරුවන්, ප්‍රතිකාර ඒ්කක සේවා පවත්වන්නන්, විදේශ විනිමය උත්පාදනය කරන සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යසායකයින් දිරිමත් කිරීමට සහ ජාත්‍යන්තර වශයෙන් තමන්ගේ ශක්තිය නිරුපණය සඳහා අවකාශය මෙම රන් සම්මාන උළෙලන් හිමි වන බවද පැවසීය. 

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ  සංකල්පයකට අනුව දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් ඇඟයීම, නිෂ්පාදන දේශීය හා විදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම මූලික කරගනිමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යන ආයතනයන් හී මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා ආයුර්වේද ප්‍රවර්ධන පෞද්ගලික සමාගම විසින් මෙම ව්‍යවසායකත්ව සම්මාන උළෙල සංවිධානය කර තිබිණ.

එම අවස්ථාවට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ප්‍රසන්න රණතුංග, නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍යවරුන් වන සීතා අරඹේපොල, ටී.බී හේරත්, ජානක වක්කුඹුර, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන චන්දන තිලකරත්න, ශම්මි දෙනාවත්ත, යන මහත්ම මහත්මීන් ද ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති අනුර ඇතුලත්මුදලි යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආයුර්වේද ක්ෂේත්‍රයෙහි ව්‍යවසායකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.