Thursday, May 02, 2024
Follow Us
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය දීප ව්‍යාප්තව

මෙවර උසස් පෙළ හදාරා අවසන් කළ පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිත ව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වෘත්තීය පුහුණු වැඩසටහන දීපව්‍යාප්ත ව ආරම්භ කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම් දීම පරිදි 2024 ජනවාරි මස අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසු - සිසුවියන් 25,000ක් මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි වී ඇති අතර අධ්‍යාපන කොට්ඨාසයකින් එකක් වන පරිදි පුහුණු මධ්‍යස්ථාන වශයෙන් දිවයිනේ තෝරාගත් පාසල් 300කට ආසන්න සංඛ්‍යාවක දී මෙම වෘත්තීය පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවේ.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වෘත්තීය පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සවය මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ දී ඊයේ(05) පැවැත්වුණු අතර ඊට සමගාමී ව පළාත් ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු ව දීපව්‍යාප්ත මට්ටමින් වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ විය.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙම පාඨමාලා සකස් කර ඇති අතර සම්පත් දායකත්වය සපයනු ලබන්නේ ඒ ඒ පාසල්වල ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය හා වෘත්තීය මාර්ගෝපදේශනය යන විෂයන් උගන්වන ගුරුවරුන් සහ නිපුණතා සංවර්ධන නිලධාරීන් විසිනි.

මෙම පාඨමාලා ඉදිරි අපොස සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට ප්‍රථම අවසන් කෙරෙන අතර එම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා ද මෙවැනි වෘත්තීය පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට මේ වන විට සැලසුම් සකස් කෙරෙමින් පවතී.

අපොස උසස් පෙළ අධ්‍යාපනය අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වෘත්තීය පුහුණු වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා සංවර්ධන වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් අංශය විසින් සංවිධානය කර ඇත.

මෙම වැඩසටහනට සම්බන්ධ වීම සඳහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සිටින නිපුණතා සංවර්ධන නිලධාරින්ගෙන් විමසීම් සිදුකළ හැකිය.