Sunday, April 28, 2024
Follow Us
ශ්‍රීමත් භගවත් ගීතාවේ පිටපතක් කථානායකත වෙත පිළිගැන්වේ

ශ්‍රීමත් භගවත් ගීතා ග්‍රන්ථයේ පිටපතක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී සිදු කෙරිණි.  

2024 මාර්තු 1 සිට 2024 මාර්තු 4 දක්වා ශ්‍රී ලංකාවේ කොළඹ දී පැවති සිව්දින ජාත්‍යන්තර ගීතා මහෝත්සවයේ අවසානය සනිටුහන් කරමින් මෙම පිළිගැන්වීම සිදු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා විසිනි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යාන්ජල් පාන්ඩේ, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලයේ නිලධාරීහු වන ගීතා මන්ෂි ස්වාමි ග්‍යානන්ද ජි, ස්වාමි ගුරුෂරානන්ද ජි ප්‍රමුඛ සිය දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සහභාගී වූ අතර පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න, සහකාර මහ ලේකම් හංස අබේරත්න යන මහත්වරු ද එක්ව සිටියහ.

මෙහි දී අදහස් දැක්වූ කථානායකවරයා සඳහන් කළේ භගවත් ගීතාව භාරතයට පමණක් අයත් වූවක් නොව සමස්ත මනුෂ්‍ය වර්ගයාටම අයත් වටිනා ග්‍රන්ථයක් බවයි. 

භගවත් ගීතාවේ පණිවිඩය සියලු මනුෂ්‍යයන් වෙත ලබා ගත හැකි නම් වර්තමානයේ පැනනැගී ඇති බොහෝ ගැටලු ඇති නොවන බව ද හෙතෙම අවධාරණය කළේය.

ජාත්‍යන්තර ගීතා මහෝත්සවයෙහි පස්වන සංස්කරණය ඉන්දියාවේ හර්යානා රජයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලය (KDB), ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට සංවිධාන කරන ලද මෙම මහෝත්සවය සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය සහ ශ්‍රී ලංකාවේ ආගමික හා සමාජීය සංවිධාන 30 ක් පමණ  දායක වී තිබේ.