Saturday, April 27, 2024
Follow Us
එක්සත් ජාතීන්ගේ වාර්තාවක් එළිදැක්වෙයි

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සන්දර්භය සහ බහුමාන අවධානමට ලක් වූ ජනතාව පිළිබඳ වාර්තාව එළිදැක්විණ.

ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

දිස්ත්‍රික්ක 25ක පුද්ගලයන් 25,042ක් මගින් සිදු කරන ලද මෙම සමීක්ෂණය එම ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කැප වී සිටින ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පෞද්ගලික ආයතනවලට සේම සිවිල් සමාජයට ද අතිශය ප්‍රයෝජනවත් වේ.

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ වඩාත් තීරණාත්මක සාධකය වූයේ සමාජ ආරක්ෂණය බව මෙහි දී පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එම පියවර  ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් දිළිඳු සහ අවධානමට ලක් වූ  ජනතාවට පමණක් නොව බදු ව්‍යුහය ශක්තිමත් කිරීම ඇතුළු පියවර මගින් ආර්ථිකය ස්ථාවර මට්ටමකට රැගෙන ඒම සඳහා සුවිශේෂී පියවරක් වූ බවයි. 

රාජ්‍ය අමාත්‍යවරයා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මගින් රට තුළ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණයවෙමින් පවතින බවට ලකුණු පෙන්නුම් කරමින් ඇති බව අවධාරණය කළ අතර පෞද්ගලික රථ වාහන ආනයනය හැර සෙසු සැපයුම් ජාලය මේ වන විටත් සාමාන්‍ය තත්ත්වයට රැගෙන ඒමට හැකි වී ඇති බවද කියා සිටියේ ය. 

නිදහස් ශ්‍රී ලංකාවේ හය වතාවක් පමණක් දක්නට ලැබුණ ධන ප්‍රාථමික ශේෂයක් පවත්වාගෙන යාමට රජය සමත් ව ඇති බව කියා සිටි සේමසිංහ මහතා 70%කට ඉහළ ගොස් තිබූ උද්ධමන අනුපාතය 2024 පෙබරවාරි මාසය වන විට 5.9% දක්වා පහත බැස ඇති බව ද පෙන්වා දුන්නේ ය. 

මේ සියල්ල සිදු කිරීමට රජයට හැකි වී ඇත්තේ 2019ට සාපේක්ෂව සමාජ ආරක්ෂණය සඳහා තුන් ගුණයක මුදලක් වෙන් කරමින් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.