Saturday, April 27, 2024
Follow Us
වයඹ ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් පිළිබඳ සොයා බැලේ  

වයඹ පළාතට ජලය  ගෙන යන  වයඹ  ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා  වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගියදා (02)  දඹුල්ල වෑමැඩිල්ල ජලාශය සහ දේවහූව ප්‍රදේශයේ  සංචාරයක නිරත විය. 

දැනට  ඉදිකිරීම්  අවසන් කර ඇති වැමැඩිල්ල ජලාශයේ සිට  දේවහූව හංදිය වෙත   ගමන් ගත් අමාත්‍යවරිය  එහිදී  ඉදිකිරීම්වල නිරත  චීනයේ සේට්ට් ඉංජිනේරු  ඉදිකිරීම් පුද්ගලික සමාගමේ  චයිනා ස්‍ටේට් ඉංජිනියරින්ග් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ්  සහ  මෙරට  ඉංජිනේරුවන්  සමඟ  ඉදිකිරීම්වල ප්‍රගතිය  සාකච්ඡා  කළාය.

එහිදී   වයඹ ඇළ ව්‍යාපෘතියේ  ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු  අශෝක පෙරේරා මහතා  කියා සිටියේ   දැනට සිදුකෙරෙන  පළමු  අදියරේ දෙවන ඉදිකිරීම්වලින්  97% අවසන් කර ඇති බවයි.  ඉදිරි මාස දෙක ඇතුළත එහි ඉදිකිරීම්  නිමා කළ හැකි බව ද  හෙතෙම පෙන්වා දුන්නේ ය.

වයඹ ඇළ ව්‍යාපෘතියේ ප්‍රධාන  අභිලාෂය වන්නේ  වයඹ පළාතේ  කෘෂිකාර්මික කටයුතු සඳහා වාරි ජලය සැපයීම සහ පානීය ජල අවශ්‍යතාව   පූර්ණ කිරීම සඳහා  නාලන්දා ජලාශය සහ  බෝවතැන්න යන ජලාශ දෙකට   අයත්  කියුබික්   ඝන  මීටර් මිලියන 130ක ජලය  වෑමැඩිල්ල ජලාශයට  ගෙනවිත්  වයඹ පළාතට ජලය  රැගෙන  යාම වේ.    

ව්‍යාපෘතිය අදියර දෙකකින් සමන් විතය. පළමු අදියරේ  දී   වැමැඩිල්ල  ජලාශයේ  සිට කිලෝමීටර් 22 ක  උමං මාර්ග හා ඇළ මාර්ග ඔස්සේ   මහ කිතුල  ජලාශය වෙත  ජලය  ගෙන ඒම සිදුකෙරේ. දෙවන අදියරේ දී බෝවතැන්න ජලාශයේ සිට   කිලෝමීටර්  08 ක උමං මාර්ගයක් ඔස්සේ  වෑමැඩිල්ල  ජලාශයට  ජලය ගෙන ඒම සිදුකෙරේ. තවද   මහකිතුල හා මහ කිරුළ  ජලාශ දෙක ඉදිකිරීම, එම ජලාශ ඔස්සේ සැපයුම්   ඇළ   මාර්ගයකින්   කුරුණෑගල  දිස්ත්‍රික්කයේ ඇහැටුවැව, පොල්පිතිගම සහ මහව ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාස බල ප්‍රදේශවලට ජලය  රැගෙන  ඒම සිදුකෙරෙන අතර එම ජලය   මහාවැව්  8 ක් සහ  කුඩා වැව් 350 කට   බෙදා හැරීම ද  දෙවන අදියරට අයත් වේ.

සමස්ත  ඇළ මාර්ගය  කිලෝමීටර් 90 කින් සමන්විතය. එහි ඉදිකිරීම්  2016 වසරේ ආරම්භ කෙරිණි.

ව්‍යාපෘතිය සඳහා  ඇස්තමේන්තු කළ  මුදල රුපියල් මිලියන 52000 කි. එයින්  85% ක   දායකත්වය   ආසියානු සංවර්ධන බැංකුවේ සහන  ණය ආධාර  වන අතර ඉතිරි  15% ශ්‍රී ලංකා රජයේ අරමුදල්  වේ.

ව්‍යාපෘතිය අවසානයේ  වයඹ පළාතේ  ඉඩම් හෙක්ටයාර් 13000 කට යල  මහ දෙකන්නයේ ම ජලය  සැපයේ. වයඹ පළාතේ  පානීය  ජල අර්බූදය සඳහා ද මෙයින්  විසඳුම්  ලැබෙනු ඇත. තවද   කහැල්ල පල්ලේකැලේ වනාන්තර කලාපය   ජාතික උද්‍යානයක් ලෙස සංවර්ධනය කෙරෙන අතර  එයින් ප්‍රදේශයේ  සංචාරක ව්‍යපාරය ප්‍රවර්ධනයට ද රුකුලක් වේ. වයඹ ඇළ ව්‍යාපෘතිය මඟින්  කුරුණෑගල දිස්ත්‍රික්කයට සහ  මාතලේ  දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ ජනතාවට   ආර්ථිකමය හා සමාජීය වශයෙන්   ජීවනෝපාය සංවර්ධනය සඳහා  විශාල පිටිවහලක්  ලැබෙනු ඇත.