Sunday, April 28, 2024
Follow Us
8 ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට අලුත් විෂයක්

ඉදිරියේදී රටේ සෑම දරුවෙකුටම තම හැකියාවන් හා අභිරුචිය අනුව තම අනාගත ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩසටහනකට එක්වෙමිනි.  

මෙරට 1-5 ශ්‍රේණි දක්වා වූ ප්‍රාථමික අධ්‍යාපන අවධියෙහි දරුවන්ට පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දෙමාපියන් විසින් අතිරේක ඉගැන්වීම් කරවමින් ලබා දෙන පීඩනය නතර කළ යුතු බවද ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන නමුත් එහි තරගකාරීත්වය අඩු කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරන බවද සිසුන් ඇගයීම සඳහා පන්ති කාමරයෙන්  පරිබාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් දරුවන් දක්වන කුසලතා හඳුනා ගනිමින් එම සුහුරු කුසලතා වෙනුවෙන් ඇගයීම් ලබාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම අටවන ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා තොරතුරු තාක්ෂණය විෂය සමඟ කෘතිම බුද්ධිය හැදෑරීමට අවස්ථාව සලසා දෙන බවත් එළඹෙන මාර්තු 19 වැනි දින එහි නියමු ව්‍යාපෘතිය පාසල් විස්සක් යොදා ගනිමින් ආරම්භ කරන බවද ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සිදු කරමින් පවතින බවද එළඹෙන වසරේදී එය දීපව්‍යාප්තව ක්‍රියාවට නංවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට දැනට පවතින විෂයන් සංඛ්‍යාව විෂයන් හත දක්වා අඩු කරන බවත් ඉතිරි විෂයන් තුන සඳහා ප්‍රාදේශීය වශයෙන් සිසුන්ට ලබා දිය හැකි කර්මාන්ත හා පාරිසරික දැනුම ඇසුරින් ඇගැයීමකට ලක් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කිසිදු දරුවෙක් සාමාන්‍ය පෙළ අසමත් නොවන අයුරින් සහ උසස් පෙළ ශේණිවලදී තමන්ට අභිමත සහ කුසලතා දක්වන විෂය ක්ෂේත්‍ර ඔස්සේ වෘත්තීය පුහුණුව ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටද පියවර ගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙවර උසස් පෙළට පෙනී සිටි 3,37000ක සිසුන් අතරින් සිසුන්  50,000කට  ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය හා මාර්ගෝපදේශනය පිළිබඳ පුහුණුවක් ලබා දීමට කටයුතු සැලසුම් කර ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය. එළෙඹෙන මාර්තු 05 වන දා සිට  දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 300ක  මෙම පුහුණු වැඩසටහන පැවැත් වේ.