Saturday, April 27, 2024
Follow Us
කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ තබන්නේ නෑ -සෞඛ්‍ය ඇමැති

කිසිදු ඖෂධ වංචාවක්  සිදුවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය  කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන කළේ (01) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අනතුරුව මාධ්‍ය  වෙත අදහස් දක්වමින්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දැනට හිඟව පවතින ඖෂධ ඉදිරි මාස 06 ක වැනි කාලසීමාව තුල යථාවත් වනු ඇති බවය. නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය පමණක් අනුගමනය කරන බවත්, දීර්ඝ කාලයක් ගත වන ප්‍රසම්පාදන ක්‍රියාවලියට  විවිධ පාර්ශ්ව ගණනාවක් සම්බන්ධ වන බවත්, මේ සියල්ල විනිවිදභාවයකින් සිදුවන බවද පැවසීය. 

රෝහල් වල ස්කෑන් යන්ත්‍ර අබලන්වීම පිළිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා  සිටියේ එම ස්කෑන් යන්ත්‍රයට අවශ්‍ය උපකරණ ලංකාවට ගෙන්වීමට පියවර ගෙන ඇති බවත්, ඉදිරි සති දෙකක කාලය ඇතුලත එම ගැටළුව නිරාකරණය වෙනු ඇති බවයි. මෙරට තිබෙන සීටි ස්තෑන් යන්ත්‍ර 46 ක වැනි ප්‍රමාණයකින් 03 ක පමණ ගැටළු ඇති බවත්, එම ගැටළු නිරාකරණය කරගෙන යන බවද කීහ.

පසුගිය කාලය තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වූ වෘත්තීය ගැටළු පිළීබද සාකච්ඡා පවත්වා ඊට අදාල විසදුම් මුදල් අමාත්‍යාංශය වෙත ලබාදීමට පියවර ගෙන ඇති බවත්, ඊට අදාලව ක්‍රමාණූකූලව විසදුම් ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරනු ඇති බව ද සදහන් කලේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, මීරිගම ඇතුලු අවට රෝහල් නිරීක්ෂණයක් අද දින සිදු කරන බවත්, මෙහිදී රෝහල්වල පවතින ගැටළු නිරාකරණය සදහා අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා  වැඩිදුරටත් පැවැසීය.

මෙරට රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහල පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ඒ ඒ රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලමින් එයට කඩිනම් විසදුම් ලබා දෙමින් මෙරට ජනතාවට ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ විශේෂ වැඩපිලිවෙලක් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇත. එම වැඩපිලිවෙලට සමගාමීව අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යංශ නිලධාරීන් මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදු කරන ලදී.

මෙහිදී අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් විසින් රෝහලේ වාට්ටු, ශල්‍යාගාර, විශේෂ සත්කාර ළදරු ඒකක,මුලුතැන්ගෙය,ඇතුලු  ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති, ඖෂධාගාර ඇතුළු අංශ නිරීක්ෂණයට ලක් කෙරිණි.

රෝහල් නිරීක්ෂණ චාරිකාවෙන්  අනතුරුව අමාත්‍යවරයා රෝහල් කාර්ය මණ්ඩලට පවතින ගැටලු වලට විසදුම් ලබා දීමට විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට ද කටයුතු කරන ලදී.

මෙම නිරීක්ෂණ චාරිකාව  සදහා බස්නාහිර  පලාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ද එයා ෆෝස් රෝෂාන් ගුණතිලක , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ද ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂතුමා, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් සහභාගී වුහ.