Saturday, April 27, 2024
Follow Us
වාරියපොළ සුමංගල හිමි සැමරේ

වීරවර වාරියපොල ශ්‍රී සුමංගල අනුනාහිමියන් ගේ 209 වන ගුණ සැමරීම අද (02) උන් වහන්සේගේ ජන්ම භූමිය ලෙස සැළකෙන වාරියපොල දී සිදුකෙරිණ.

1815 මාර්තු 02 දින මහනුවර මගුල් මඩුවේදී උඩරට ගිවිසුම අත්සන් කිරීමටත් පෙර ඉංග්‍රීසීන් විසින් ඔවුන්ගේ කතිර කොඩිය එසවීමට විරෝධය දක්වමින් එම කොඩිය බිම හෙලා නැවත සිංහ කොඩිය ඔසවා ජාතියේ වීරතවය විදහා පෑ වාරියපොල ශ්‍ර්‍ර්‍රී සුමංගල අනුනාහිමියන් ගේ එම වීර ක්‍රියාවට අද දිනට වසර 209 ක් සපිරේ.

සෑම වසරකම මාර්තු 02 දින එම ක්‍රියාව සිහිකර වාරියපොල නගර මධ්‍යයේ පිහිටි සුමංගල අනුනාහිමි පිළිරුවට පුෂ්පෝපහාර පිදීම සිදුකෙරේ.

වාරියපොල සුමංගල පිරිවෙන් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති අස්ගිරි විහාරයේ කාරක සංඝ සභික මහාචාර්‍ය තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක හිමියන් ඇතුළු ප්‍රාදේශීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණ.

වාරියපොල ශ්‍රී ඥානෝදය මහා විද්‍යාලයේ තූර්යවාදන කණ්ඩායම් පෙරටු කරගෙන මහා සංඝරත්නය, වාරියපොල ශ්‍රී සුමංගල ජාතික පාසලේ ශිෂ්‍ය නායකයින්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස සුමංගල පිරිවෙන් විහාරස්ථානයේ සිට පෙරහැරින් නගරයට පැමිණ සුමංගල හිමි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.

මෙහිදී සුමංගල ජාතික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් වයඹ උදාන ගීතය සහ සුමංගල හිමි උපහාර ගීතය ගායනා කළහ.

මෙම අවස්තාවට සියළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් පිරිස් එක්ව සිටි අතර වාරියපොල නගරවාසීන් ඇතුළු ව්‍යාපාරිකයින් ද විශාල පිරිසක් එක්ව සිටියහ.

- Lankadeepa