Saturday, February 14, 2026
Follow Us
නත්තල් කැරොල් ගී නැරඹීමට ජනපති එක් වෙයි

ජනාධිපති කාර්යාලය, සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය සහ ඒ අවට වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ නත්තල් කලාපය ඊයේ (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.

විදුලි පහන් ආලෝකය දල්වා මෙම අවස්ථාවේ සමාරම්භය සනිටුහන් කළ ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති නත්තල් කැරොල් ගී ප්‍රසංගය නැරඹීමටද එක් විය.

ඊයේ දින නත්තල් කැරෝල් ගී ප්‍රසංගය ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගායන සහ වාද්‍ය කණ්ඩායම විසින් සිදු කළ අතර මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය දෙසැම්බර් 23 වනදා තෙක් දිනපතා රාත්‍රී 7.00 සිට රාත්‍රී 8.30 දක්වා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

අද (21) දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්ද, හෙට (22) ශ්‍රී ලංකා යුද හමුදාව සහ දෙසැම්බර් 23 වනදා ශ්‍රී ලංකා පොලීසියේ ගායන සහ වාද්‍ය කණ්ඩායම විසින් නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඉදිරිපත් කරනු ඇත.