Saturday, July 27, 2024
Follow Us
"ලංකා ගමනාගමන මණ්ඩල ඉතිහාසයේ ස්වර්ණමය වසර 2024 වසරයි."

නව සංවර්ධන ක්‍රමෝපායන් ශක්තිමත් කිරීමේ අරමුණින් ලංගම පුනර්ජීව වැඩසටහන යටතේ අම්පාර ටයර් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.


මේ යටතේ ආයතනයේ නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම සඳහා ඉදි කෙරෙහි නව කර්මාන්තශාලා ගොඩනැඟිල්ලට මුල්ගල තැබීම අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිත අමුත්තන්ගේ සුරතින් සිදු වූ අතර, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මඟින් ඉදිකරනු ලබන මෙම ගොඩනැගිල්ල සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 120ක්‌. ලංකා ගමනාගමන මණ්ඩලයේ අරමුදල් මගින් සිදු කෙරෙන ගොඩනැගිලි පහසුකම් සහ යන්ත්‍රසූත්‍ර ස්ථාපිත කිරීම සිදුකිරීමෙන් අනතුරුව ලංකා ගමනාගමන මණ්ඩලය වෙත වාර්ෂිකව අවශ්‍ය වන පෙරසවි සහ නැවත පිරවූ ටයර් අවශ්‍යතාවෙන් 1/3ක ප්‍රමාණයක් ආයතනයට අයත් කර්මාන්ත ශාලා වල නිෂ්පාදනය කර ගැනීම අරමුණයි.

උත්සවය අමතා අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"නැගෙනහිර පළාතටත් අම්පාර දිස්ත්‍රික්කයටත් අලුත් අගයක් එකතු කරමින් බොහෝ කලක් තිස්සේ ලංකා ගමනාගමන මණ්ඩලයේ අම්පාර ටයර් කර්මාන්ත ශාලාව පුළුල් කිරීම සඳහා පැවති බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත්වීම මෙයින් ඇරඹෙනවා. මා ප්‍රවාහන හා මහා මාර්ග විෂය භාර අමාත්‍යවරයා ලෙස අමාත්‍යාංශයේ වැඩ භාර ගෙන ගෙවුණු වසර එකහමාර තුළ උඩුගම් බලා පිහිනීමක් කරන්නට සිදු වුණා.මන්දයත් ඒ අවස්ථාව වන විට ඩිපෝ 39කට සේවක වැටුප් ගෙවා ගැනීමට හෝ හැකියාවක් තිබුණේ නැහැ. හොරකම, වංචාව, දූෂණය, අක්‍රමිකතාව අප්‍රමාණව පැවතුණා. දේශපාලනය මත සියලු තීන්දු තීරණ ගන්නා තත්ත්වයක් පැවතුනා.
පුද්ගලික අංශයට ලාභ ලැබිය හැකි සේවාවක් රාජ්‍ය අංශයේ දී පාඩු ලැබීම නවතා ලාභ ලැබිය හැකි තත්ත්වයට පත් කිරීම සඳහා විනයක්, දැක්මක්, වැඩ පිළිවෙලක් සහිත සැලසුමක් අවශ්‍යයයි. එම නිසා තනතුරුවලට හිත මිතුරන්, ඥාතීන් පත් කිරීමේ පැරණි සම්ප්‍රදාය වෙනස් කරමින් ප්‍රවාහන විෂය සම්බන්ධ ගැඹුරු දැනුමක් සහ අත්දැකීම් සහිත ඉන්ජිනේරුවරයකු සභාපති තනතුරට පත්කර නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලතල ලබා දුන්නා.
ඒ අනුව මේ වන විට සාධනීය පියවරක් රැසක් ගෙන තිබෙනවා. පැවති ආර්ථික අර්බුද හමුවේ රජයට කිසිදු ණයක් ආධාරයක් නොලැබෙන වාතාවරණයක පවා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නව බස්රථ 500 ක් ලබා ගැනීමට අපට හැකි වුණා. ඊට අමතරව ලංගම කාර්ය මණ්ඩලවල කැපවීම මත අබලන් තත්ත්වයේ පැවති තවත් බස් රථ 400 ධාවන තත්වයට පත්කරගැනීමට හැකියාව ලැබුණා.මේ වසර තුළ ඒ ආකාරයට නව බස්රථ ද ඇතුළුව බස්රථ 900ක් ධාවනයට එක් කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා. දීර්ඝ කාලයක් ලංගම වෙත ටයර් සැපයූ පුද්ගලික සමාගමට වඩා අඩු මුදලකට වැඩි දුරක් ධාවනය කළ හැකි ටයර් ලබා ගැනීම තුළින් මාස හතරක් තුල රුපියල් මිලියන 300ක්‌ ඉතිරි කර ගැනීමට හැකිව තිබෙනවා. කෙසේ වෙතත් එම සමාගම විසින් පවරන ලද නඩුවක් හේතුවෙන් අමාත්‍යවරයා ලෙස මටත් කැබිනට් මණ්ඩලයටත් සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ටත් අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට පවා සිදුව තිබෙනවා.
ආයතනයට ලැබෙන ආදායමෙන් විශාල ප්‍රමාණයක් වංචා කිරීම හේතුවෙන් දෛනිකව විශාල කොන්දොස්තරවරුන් පිරිසක් වැඩ තහනමට ලක් වනවා. දිගින් දිගටම සිදුවන මෙම අක්‍රමිකතාවය පාලනය කිරීම සඳහා එළඹෙන වසරේදී ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඩිජිටල් හෝ QR ක්‍රමවේදයට හුවමාරු කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. මුදල් හුවමාරුවකින් තොර e-ticketing ක්‍රමවේදය ඔස්සේ ලබන වසර තුළ ලංගම ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබෙන බව මා විශ්වාස කරනවා. ලෝකයේ සියලු දියුණු රටවල් මේ වන විටත් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයන් වෙත පරිවර්තනය වී තිබෙනවා.
ඉදිරි වසර තුළ බස්නාහිර පලාත තුල විදුලි බස්රථ දෙසීයක් ධාවනය ආරම්භ කිරීමට මේ වන විට කටයුතු සිදුවෙමින් පවතිනවා. මෙම ඉදිකිරීම් පවා පෞද්ගලික අංශය වෙත ලබාදීම වෙනුවට ලක්ෂ 1200ක මෙම ව්‍යාපෘතිය කිසිදු මූල්‍ය වංචාවකින් තොරව විනිවිද පෙනෙන සුළු ආකාරයට සිදු කිරීම සඳහා රාජ්‍ය ආයතනයක් වන රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව වෙත පවරා තිබෙනවා.
අභිමානවත් ඉතිහාසයක් පැවති ලංකා ගමනාගමන මණ්ඩලයට එළැඹෙන ජනවාරි මාසයට වසර 66ක්‌ සපිරෙනවා. එම 66 වැනි වසර ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉතිහාසයේ ස්වර්ණමය වසර බවට පත්කිරීමට එක්ව කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. වැටි තිබෙන රට යළි ගොඩගැනීමට අප සියළු දෙනා එක්ව වැඩ කළ යුතුයි.
ප්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ප්‍රදේශයේ ජනතාවටම හිමි විය යුතුයි. අමාත්‍යවරයා ලෙස මා කිසිදු අවස්ථාවක ඒ සදහා කිසිදු ආකාරයේ මැදිහත්වීමක් සිදුකර නැහැ. මෙම නිෂ්පාදනාගාර තවදුරටත් පුළුල් කිරීම තුළින් පෞද්ගලික අංශයට වඩා අවම පිරිවැය කට අපට අවශ්‍ය ටයර් නැවත පිරවීම සහ පෙර සවි කිරීම සිදු කල හැකිනම් ඒ ඉලක්කය වෙත ගමන් කිරීම ඉලක්කය විය යුතුයි."

නැගෙනහිර පළාත ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා, අම්පාර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ මහතා,ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා,රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහතා, ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරුන් ඇතුළු ආයතනයේ මණ්ඩලය මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.