Saturday, July 27, 2024
Follow Us
කුළුබඩුවල ප්‍රමිති සහතිකකරණ වැඩපිළිවෙළ දෙසැම්බර් සිට 

කුළුබඩු සැකසුම් කර්මාන්තයේ යෙදී සිටින සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්තකරුවන්ගේ කුළුබඩු නිෂ්පාදන සඳහා ප්‍රමිතිය සහතිකකිරීමේ වැඩපිළිවෙළක් වහාම ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහන්ද අමරවීර මහතා ජාතික කුළුබඩු සංස්ථාවට උපදෙස් ලබා දී තිබේ.

කුළුබඩු ප්‍රමිති සහතිකකරණය පිළිබඳ ඊයේ (15) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ කුළුබඩු සඳහා ඉහළ ඉල්ලුමක් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ පැවැතියත් මෙතෙක් අප රටේ කුළුබඩුවල ප්‍රමිතිය සහතික කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීය.

මේ නිසා සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කුළුබඩු නිෂ්පාදනකරුවන්ට මෙරට කුළුබඩු අපනයනය සඳහා කටයුතු කිරීමේ දී මහත් දුෂ්කරතාවලට මුහුණ දුන්නේය. මෙම කාරණය සම්බන්ධව සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කුළුබඩු කර්මාන්තයේ නියැළෙන්නන් තමන් මුහුණ පා සිටින ගැටලුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව අන්තර් ජාතික පිළිගැනීමක් සහිත සිංගප්පුරුවේ SGS Institute ආයතනය හා එක්ව ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් අත්සන් කිරීමට ජාතික කුළුබඩු සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අනුව ලබන දෙසැම්බර් මාසයේ සිට මෙරට සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කුළුබඩු නිෂ්පාදනකරුවන් සියලු දෙනා මෙම ප්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්ය වන බව එම සංස්ථාවේ සභාපතිනි කුමුදිනී ආර්යා ගුණසේන මහත්මිය පවසයි.

ජාතික කුළුබඩු සංස්ථාව, හැටන් නැෂනල් බැංකුව හා SGS Institute ආයතන එක් ව මෙම ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.

මෙරට ප්‍රධාන වැවිලි බෝගවල ගම්මිරිස්, එනසාල්, කරඳමුංගු, කරාබු නැටි, කුරුඳු වැනි කුළුබඩු ලෝකයේ රටවල් ගණනාවක ජනතාව භාවිතා කරති. නමුත් ඇතැම් කූඨ වෙළෙඳුන් විසින් තත්ත්වයෙන් බාල කුළුබඩු වර්ග අපනයනය කිරීම නිසා Sri Lanka Spice සන්නාමයට බරපතල හානි සිදු කර ඇතැයි අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එමනිසා මෙම කුළුබඩු සහතිකකරණ වැඩපිළිවෙළ දෙසැම්බර් දෙවැනි සතියේ අදාළ ත්‍රෛපාර්ශ්වීය ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ක්‍රියාත්මක කරන අතර ඉන්පසු එම සහතිකය සහන මිලකට නිෂ්පාදනකරුවන්ට ලබා ගත හැකිය.

එමෙන්ම මෙම සහතිකය අන්තර්ජාතිකව පිළිගන්නා සහතිකයක් බැවින් කිසිදු බාධාවකින් තොරව මෙරට සුළු හා මධ්‍යම පරිමාණයේ කුළුබඩු කර්මාන්තකරුවන්ට තම නිෂ්පාදන අන්තර්ජාතික වෙළෙඳපළට අපනයනය කිරීමේ හැකියාව ලැබේ.