Saturday, July 27, 2024
Follow Us
ජෙරොම්ගේ ප්‍රකාශය ගැන දැනටමත් විමර්ශන අරඹලා

නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දැනටමත් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (24) දන්වා සිටියේය.

අදාළ ප්‍රකාශය සිදු කිරීමෙන් බුද්ධාගම ඇතුළු වෙනත් ආගම් අපහාසයට ලක් කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන විමර්ශනයක් සිදු කරන ලෙස සහ ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා මේ බව දන්වා සිටියේය.

ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ වගඋත්තරකාර දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් පවත්වන ලද දේව මෙහෙයකදී ඔහු බෞද්ධ ආගම ඇතුළු ආගම්වලට අපහාස වන අන්දමේ සහ එම ආගම හෑල්ලුවට ලක් කරමින් ප්‍රකාශයක් සිදු කර ඇති බවය.

එම ප්‍රකාශය ආගමික සංහිඳියාවට බාධාවක් වන අතර ආගමික සහ ජාතික සහජීවනයට එමඟින් දැඩි අගතියක් සිදු වන බවද ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම කරුණ සම්බන්ධයෙන් පසුගියදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ද බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති අතර ජනාධිපතිවරයා ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව විවිධ අවස්ථාවලදී ප්‍රකාශ වූ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

කෙසේ වුවද මෙම දේවගැතිවරයා පිටුපස ප්‍රබල හස්ත ඇති බැවින් ඔහුට එරෙහි විමර්ශන කටයුතු දිගටම අඛණ්ඩව සිදු වේද යන්න පිළිබඳව විශාල සැකයක් ඇති බව ඒ මහතා සඳහන් කළේය. ඒ හේතුවෙන් පෙත්සම්කරුවන් විසින් මෙම පෙත්සම ගොනු කළ අතර අදාළ විමර්ශන සම්බන්ධයෙන් අධිකරණ අවධානය වරින් වර යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ද ඒ මහතා අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් බලධාරීන් මේ වන විට ගෙන ඇති පියවර කුමක් ද යන්න දැන ගැනීමට තමාට අවශ්‍ය බව ඒ මහතා සඳහන් කළේය.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා සඳහන් කළේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉකුත් 18 වැනිදා ගොනු කර ඇති අතර ඊට පෙර එනම් 16 වැනිදා වන විට මෙම වගඋත්තරකරුට එරෙහි විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවය.

 

ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ගණනාවක් ලැබුණු අතර දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය අනුව ආගමික විසම්මුතියක් ඇති කර ජනතාව අතර කැලඹීමක් ඇති කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සහ එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ තුන් වන වගන්තිය ප්‍රකාරව ඔහුට එරෙහිව විමර්ශන කටයුතු සිදු කරන බව ඒ මහතා සඳහන් කළේය.

මෙම පෙත්සම්කරුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර විදෙස් ගමන් තහනමක් ලබාගෙන ඇති නමුත් ඒ වන විට ඔහු රටින් පිට වී ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර මේ වන විට ඔහු රටින් පිට වී තිබීම එම කටයුතුවලට යම් බාධාවක් ඇති කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය. කෙසේ වුවද එම විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කිරීමට පියවර ගන්නා බව ඒ මහතා කියා සිටියේය.

එ අනුව අදාළ විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම සඳහා මෙම පෙත්සම ජූලි මස 18 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම ලබන ජූලි මස 28 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේ ය.

ඇල්ලේ ගුණවංශ හිමි, බෙංගමුවේ නාලක හිමි, අගුල්වැල්ලේ ජිනරතන හිමි, ආචාර්ය ශිවාෂ් රාමචන්ද්‍රන් කුරුක්කල් බාබු ෂර්මා, නිශාන් කුරේ පියතුමා, අල්හාජ් හසන් මොහොමඩ්, මෙහි පෙත්සම්කරුවෝ වෙති.

පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, මහජන ආරක්ෂක ඇමැතිවරයා, නීතිපතිවරයා ඇතුළු 16 දෙනකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබේ.

නීතිඥ අශෝකා නිවුන්හැල්ල මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙත්සම්කරුවෝ වෙනුවෙන් පෙනී සිටියහ.

- Dinamina