Saturday, July 27, 2024
Follow Us
නව කම්කරු නීති කෙටුම්පතට වැඩ කරන ජනතාවගේ අනුමැතියට

නව කම්කරු නීති පද්ධතිය ජුනි මාසය මුල වන විට කෙටුම්පත් කිරීමට අපේක්ෂා කරන බවත්, එම දල කෙටුම්පත ආයෝජන කලාප ද ඇතුළුව සියලුම ක්ෂේත්‍රවල වැඩ කරන ජනතාව වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සදහා වන ඉන්ෆ්ල්ක්ස් බුද්ධිමය සංවාද වේදිකාවේ සිව් වැනි සැසියට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පල කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අලුත් කම්කරු නීතිය හදන එක සම්බන්ධයෙන් සමාජයේ සෑම ස්ථරයකම කතාබහක් ඇති විය යුතුයි. සමාජයේ සෑම ස්ථරයකම, අලුතෙන් හදන මේ කම්කරු නීතිය පිළිබඳව යෝජනා, චෝදනා, විරෝධතා සහ සැක සංකා ඉදිරිපත් විය යුතුයි. විවිධ මත ඉදිරිපත් උනොත් තමයි මේ කටයුත්ත වඩාත් ශක්තිමත්ව කළ හැකි වන්නේ. උගත් නීතිඥ මහත්මියක් පවා කෙටුම්පතේ තිබෙනවායැයි කියමින් නැති දේවල් ගැන අදහස් පළ කරල තිබුණ. නමුත් මෙහෙම වේදිකාවක් තිබෙන නිසා එම සාවද්‍ය ප්‍රකාශවලට උත්තර දෙන්න අපිට පුළුවන් වෙලා තියෙනව. බොරුවක් කිව්වා උනත් ඒ සියලු දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා මේ කතිකාව ගොඩනැගීමට ඔවුන් දායක වීම සම්බන්ධයෙන්.


කම්කරු උපදේශක සභාවෙන් ඉදිරිපත්වන කරුණු තියෙනව. කම්කරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත්වන කරුණු තියෙනව. ලබන සතිය වන විට කම්කරු නිලධාරීන්ගේ අදහස් ලබාගැනීමට අපි අදහස් කරනව. අපි මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට රාජ්‍ය අංශයේ වෘත්තීය සමිතිවලටත් ආරධනා කරල තියෙනව. මේ වෙන කොට අපි සියලු මාධ්‍ය මගින් සමාජය දැනුවත් කරල තියෙනව මේ කතිකාවට එකතු වෙලා සිය යෝජනා ඉදිරිපත් කරන්න කියල. ඒ ගොනු කර ගන්නාවූ අදහස්වලින් සකස්කර ගන්නා වූ දල කෙටුම්පත අපි කම්කරු උපදේශක සභාව වෙත යොමු කරන්න බලාපොරොත්තු වෙනව. ඒ වගේම කම්කරු උපදේශක සභාව නියෝජනය නොකරන වෘත්තීය සමිතිවලටත් අපි මෙම සකස් කරගන්නාවූ දල කෙටුම්පත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව. ඒ විතරක් නෙමෙයි මේ කතිකාවෙන් පසුව හදන මේ දල කෙටුම්පත ආයෝජන කලාපවල සේවය කරන අය ද ඇතුළුව සියලුම ක්ෂේත්‍ර නියෝජනය කරන වැඩ කරන ජනතාව වෙත ඉදිරිපත් කරල ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කරනව”